Site icon Newshub

ජනපති සමඟ උරුමය සින්නක්කර ඔප්පු බෙදන්න SJB ගයන්තත් එක්වෙයි

“උරුමය” ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්ව‍යෙන් දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහිදී සමගි ජන බලවේගයේ ඉදිරි පෙළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනු ලබන ගයන්ත කරුණාතිලක මහතාද ජනපති සමඟ උරුමය ඉඩම් ඔප්පු ප්‍රදානය කරනු ලබන වේදිකාවේ සිටීම කැපී පෙනෙන සිදුවීමක් වුනා.

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයකු වන ගයන්ත කරුණාතිලක මහතා යහපාලන රජය සමයේ ඉඩම් අමාත්‍යවරයකු ලෙසද කටයුතු කර තිබෙනවා.

පවුල් ලක්ෂ 20කට සින්නක්කර හිමිකම් සහිතව ඉඩම් හිමිකම තුළින් ගොවීන් සවිබල ගැන්වීමේ ‘උරුමය’ වැඩසටහන තුළින් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ පළමු අධියර එහිදී සිදු වූවා.

සවිමත් අනාගතයකට පෙරවදනක් යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද 2024 අය වැය යෝජනා අතර 08 වන යෝජනාව වූයේ “උරුමය වැඩසටහන මඟින් 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවීන් වෙත බලපත්‍ර හා කොන්දේසි සහිත දීමනාපත්‍ර මත බැහැර කර ඇති රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ගොවි ජනතාව වෙත ලබාදීමට අපේකෂා කර ඇත” යන්නයි.

ඒ අනුව ඉදිරි වසර කිහිපය ඇතුළත පවුල් ලක්ෂ විස්සක් සඳහා “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක් වෙන් කර තිබෙනවා.

 

Exit mobile version