Site icon Newshub

පසුගිය වර්ෂයේදී අන්තර්ජාල වැරදි ගැන පැමිණිලි අටදාහකට වඩා ලැබී තිබෙනවා

පසුගිය වර්ෂයේදී අන්තර්ජාලයේ සිදුකළ වැරදි ගැන පැමිණිලි අටදාහකට වඩා ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාර්ග ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළ අතර මෙසේද පැවසීය,

මේ පනත පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සියලුම ආයතන සමග මේ ගැන සාකච්ඡා කළා.

විශේෂයෙන්ම මේ පනතෙන් ආවරණය කරන කරුණු ගැන කතාකලොත් සමාජ මාධ්‍ය භාවිතයෙන් වංචාකිරීම් , කැරැල්ලක් ඇතිවන ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම , ළමා අපචාර , කාන්තා හිංසනය , ආගමික සහජීවනයට බාධා කිරීම , අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම මගින් ජාතික ආරක්ෂාවට ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම , ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම යන කරුණු ගැන.

2023 වර්ෂයට අන්තර්ජාලයේ සිදුකළ වැරදි ගැන පැමිණිලි අටදාහකට වඩා තිබෙනවා. ලිංගික හිරිහැරකිරීම් ගැන පැමිණිලි 669 ක් , නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම ගැන පැමිණිලි 506 ක් තිබෙනවා , අපහාස පැමිණිලි  697 , අන්තර්ජාලය හරහා පැමිණිලි කිරීම් 34 , සයිබර් හිරිහැර පැමිණිලි  1961  , ජාතික ආරක්ෂාවට බලපාන සිද්ධි 88 , මුදල් වංචා 408 , පරිගණක දත්ත සොරකම් කිරීම් 508 වගේ දේවල් සිදුවී තිබෙනවා. මන්ත්‍රීවරුන්ට පමණක් නොවෙයි ඔවුන්ගේ පවුල්වල අයටත් කිසිම හේතුවක් නැතිව මඩගහනවා. ඒවගේම ළමා අපචාර සිදුවන ආකාරයත් පැහැදිලියි.

මේ පනත ගෙන එන්නේ මාධ්‍ය හිරකරන්නවත් දේශපාලන ප්‍රතිවාදීන්ව හරිකරන්නවත් නෙවෙයි. මෙහිදී ක්‍රමවේදයක් තිබෙනවා. මේ පනත යටතේ කොමිසමක් පත්කරනවා. විශේෂඥ දැනුම තියෙන පුද්ගලයින් 05 ක් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය තුළින් ඒ සඳහා පත්කරනවා.  මේ සියලුදේ කරන්නේ රටක් විදිහට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා කිසිවෙකුට මෙයට විරුද්ධවෙන්න බැහැ කියලා මම හිතනවා යැයි සඳහන් කළේය.

Exit mobile version