Site icon Newshub

අස්වැසුමට අලුතෙන් පවුල් ලක්ෂ 3ක්

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විරෝධතා සහ අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව අලුතින් 300,000ක පවුල් සංඛ්‍යාවක් අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ඇතුළත් කර ගැනීමට සුදුසුකම් ලබා ඇතැයි වැඩ බලන මුදල් ඇමැති ශෙහාන්සේමසිංහ මහතා පවසනවා.

ඉදිරිපත් කර තිබූ අභියාචනා 640,000ක් මෙහිදී සලකා බලා තිබෙන අතර ඉන් පවුල් 5000ක් නුසුදුස්සන් බවට පත්ව ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි පෙන්වා දෙන ඇමැතිවරයා මීළඟ වාරික මුදල ලබාදීමට පෙර අලුතෙන් තේරී පත් වූ පවුල් වෙත ජූලි මස සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මනින් බැංකු වෙත මුදා හැරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

අභියාචනා සහ විරෝධතා හේතුවෙන් මෙතෙක් අස්වැසුම ලබමින් සිටි පවුල් 5,209ක් නුසුදුස්සන් බවට පත්ව ඇති අතර තවත් පවුල 2,567ක් තමන් ප්‍රතිලාභ ලබමින් සිටි මට්ටමෙන් පහළට ගමන් කර තිබේ. තවත් 50,882ක පිරිසක් සිය ප්‍රතිලාභ මට්ටමේ ඉහළට ගමන් කර ඇති අතර ලක්ෂ 11කට ආසන්න අභියාචනා සහ විරෝධතා ප්‍රමාණයක් ලැබී තිබූ බව ද හැකි ඉක්මනින් ඒවා සලකා බැලීම අවසන් කරන බව ද ශෙහාන් සේමසිංහ මහතා කියා සිටී.

වැඩ බලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සමඟ මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (18) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළේය.

Exit mobile version