Site icon Newshub

“යුක්තිය” මෙහෙයුම නිසා සමස්ත අපරාධ වල 17%ක අඩු වීමක්

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම හේතුවෙන් පසුගිය මාසය තුළ සිදුවී ඇති සමස්ත අපරාධ ප්‍රමාණය 17%කින් අඩුවී තිබෙන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සියලුම දෙපාර්තමේන්තු මඟින් පසුගිය වසර තුළ සිදු වූ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ මහජනතාවට නිවැරදි අවබෝධයක් දීම සඳහා සංවිධාන කරන ලද විශේෂ මාධ්‍ය හමුවක්‌ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඇමැති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැත්විණි. එම අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා..

අපේ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල ප්‍රගතියක් තිබෙනවා. කාරණා දෙකක් පැවැසිය යුතු වෙනවා. අපි මෑතක දී විදෙස් ගමන් බලපත්‍රය ලබාගත හැකි ස්ථාන 51ක් විවෘත කළා. මාධ්‍ය ඒ වෙනුවෙන් ප්‍රචාරයක් දුන්නා. මේ වසරේ මාස හයක් තුළ එය 335 දක්වා ඉහළ නංවන්න අපි අපේක්ෂා කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම දැන් හැඳුනුම්පත ලබාදෙනවා මෙන් විදෙස් ගමන් බලපත්‍රය ලබාදෙන්නත් පියවර ගන්නවා. අපරාධ අඩුවී තිබෙනවා.

යුක්තිය මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් පමණ ද? Ò යන්න පිළිබඳ මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ප්‍රධාන පිළිගත් මාධ්‍ය කිසිවකින් මෙතෙක් එවැනි චෝදනාවක් එල්ල වී නැහැ. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාල මුදල් මත යැපෙන අතළොස්සක් පිරිස් එවැනි චෝදනා එල්ල කරනවා.

නමුත් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ මාධ්‍යවේදීන් වෙත වාර්තා වන සිදුවීම් විශ්ලේෂණය කරන විට ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම මෙහෙයුම ආරම්භ කරන තුරු විෂය භාර අමාත්‍යවරයා ලෙස මටද ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබී නොතිබුණත් දිවයින පුරා ගම් නගර භේදයකින් තොරව සාමාන්‍ය ජනතාවගෙන් මා වෙත ලැබෙන දුරකතන ඇමතුම් තුළින් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් ජනතාව කොපමණ පීඩාවකින් පසු වූවාද යන්න පිළිබඳ අවබෝධ කරගත හැකියි.

කිසිදු අවස්ථාවක පෞද්ගලික ගැටලු මත අප වැටලීම් සිදු කරන්නේ නැහැ.

පසුගියදා වැලිගම ප්‍රදේශයේ සිදු වූ සිදුවීම සම්බන්ධව හෝටලයක හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුත් සමඟ කාර්යාලයට පැමිණ මා මුණ ගැසී මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලීමක් කළා. මා ඔහුට අවවාද කළේ තමන්ගේ ස්ථානයේ දී මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා ඉඩ ලබා නොදෙන ලෙසයි. නැවත වරක් එම ස්ථානය පරීක්ෂා කරන විට මත්ද්‍රව්‍ය තිබී හමුවුවහොත් එහි හිමිකරු ද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මම ප්‍රකාශ කළා. කිසිවකුත් සමඟ මාගේ පෞද්ගලික අමනාපයක් නැහැ. නමුත් වැරදිකරුවන් සමඟ හිඳ හසු වුවහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවනවා.

අදාළ සිදුවීම සිදුවනතුරු එහි හිමිකරු කවුරුන්ද යන්න පිළිබඳ හෝ මා දැන සිටියේ නැහැ. හිමිකරු කවුද යන්න මා දැනුවත් වූයේ සිදුවීමට පසු දින යම් යම් පුද්ගලයන් මා හට දුරකතන ඇමතුම් ලබාදෙන අවස්ථාවේදී.

අප කිසිදු අවස්ථාවක පදනමක් නොමැති චෝදනා පිළිබඳ කරදර වන්නේ නැහැ. මේ මෙහෙයුම තුළින් ජාවාරමේ නිරත දැවැන්තයින් තරාතිරමක් නොමැතිව අත්අඩංගුවට ගැනීම අපගේ අරමුණයි. කොතරම් එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කළත් ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වන්නේද නැහැ. ඉතාමත් අතළොස්සක් වූ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින්, නීතිඥ වැනි පිරිසක් මෙවැනි කටයුතුවල නිරත වනවා.

මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන 90%ක්‌ පමණ අවසන් බව මා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව අගරදගුරුතුමා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබඳ යම් විවේචනයක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම අමාත්‍ය ධුරය භාරගත් අවස්ථාවේ සිට මා ප්‍රකාශ කරන්නේ මේ වන විට පොලිසිය පාර්ශ්වයෙන් විමර්ශන 90%ක්‌ පමණ අවසන් බවයි. නමුත් සිදු කළ විමර්ශනවල අප නොදකින දේ තිබිය හැකියි. උන්වහන්සේ ඇතුළු පිරිස් සතුව එවැනි තොරතුරු තිබිය හැකියි. එම නිසා අගරදගුරුතුමාටත් කතෝලික සභාවටත් මා ආරාධනා කළා අප සමඟ සිදු කළ විමර්ශන පිළිබඳ නිරීක්ෂණයක නිරත වන ලෙසත් ඉන් අනතුරුව එහි කිසියම් අඩුපාඩුවක් පවතින්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කර උන්වහන්සේලා සතුව තවත් තොරතුරු තිබේ නම් ඒ පිළිබඳ එක්ව විමර්ශන සිදුකර මෙය විසඳීමට සහාය වන ලෙස. විශේෂයෙන්ම බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ලේඛන මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවට අගරදගුරුතුමා දැනුවත් නොමැති බව මා විශ්වාස කරනවා.

ඊට අමතර යම්කිසි තොරතුරක් උන්වහන්සේ සතුව තිබෙනවා නම් ඒ පිළිබඳ ද විමර්ශනයක් සිදු කිරීම සඳහා අදාළ තොරතුරු ලබා දෙන ලෙස අප ඉල්ලීමක් කරනවා. වසර දෙකක් යනතුරු ලබා නොදුන් බව කියූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව කතෝලික සභාව වෙතට මා විසින්ම භාරදෙනු ලැබුවා. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස මා විසින් ලිඛිතවද ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් තවදුරටත් ඒ පිළිබඳ පවතින තොරතුරු ලබා දී ඉතිරි කටයුතු කිරීමට දායක වන ලෙස මා ඉල්ලීමක් සිදු කරනවා. සැබවින්ම එහි සත්‍යය හෙළි කර ගත යුතු නම් සිදු කළ යුත්තේ එයයි. කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබඳ සමස්ත තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී එවකට පොලිසියේ ඇතැම් පිරිස් නිවැරදි ලෙස කටයුතු කර තිබුණා නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමේ හැකියාවක් තිබුණා. එය පොලිසියේ අතපසුවීමක් බව පිළිගත යුතුයි.

මේ අවස්ථාවට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාඛ්‍ය නානායක්කාර යන මහත්වරුද එක්වූහ.

Exit mobile version