Site icon Newshub

මෙරට අපරාධ යුක්ති ක්‍රියාවලිය අවභාවිත කරන බවට ජෙරම් ප්‍රනාන්දුට චෝදනාවක්

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා විවිධ නඩුකර ඉදිරිපත් කරමින් මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය අවභාවිතයට ලක්කරමින් සිටින බව සර්ව ආගමික නායකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අද (19) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු සර්ව ආගමික නායකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයවර්ධන මහතා මේ බව කියා සිටියේය.

ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ පෙත්සම්කාර ජෙරම් ප්‍රනාන්දු තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකළ බව සඳහන් කළේය.

එම කරුණට අදාළවම අභියාචනාධිකරණය හමුවේ ද තවත් රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර පසුව අධිකරණය විසින් එය සලකා බැලීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු විසින්ම එය ඉල්ලා අස්කරගෙන පසුව එම කරුණට අදාළව තවත් පෙත්සමක් ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

මෙලෙස පෙත්සම්කරු විවිධ අධිකරණවලට පෙත්සම් යොමු කරමින් නීතිය මඟ හැර යාමට උත්සාහ කර ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මේ තුළින් ඔහු මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය අවභාවිතයට ලක් කර ඇති බවත් චෝදනා කර සිටියේය.

මේ ආකාරයෙන් කටයුතු කිරීමට ඔහුට නීතිය ඉදිරියේ කිසිදු සුවිශේෂී වරප්‍රසාදයක් හිමිවී නොමැති බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version