Site icon Newshub

අපි පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නැහැ – සජිත්

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන ගමන් විකල්ප අධ්‍යාපන අවස්ථා ඇති කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (5) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට එක්වෙමිනි

පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වෙන බහුතරයකගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාල සහ ආයතනවල අධ්‍යාපනය ලබන බවත් තමාගේ දරුවන්ට ලබා දෙන ඒ විකල්පය රටේ දරුවන්ට ලබා දීමට කැමැති නැත්තේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය ප්‍රතිපත්තිය රාජ්‍ය නිදහස් නිවහල් අධ්‍යාපනය ශක්තිමත් කර නූතනවාදී සහ නවීකරණය කරන අතරතුර අධ්‍යාපන අවස්ථා සහ තේරීම් ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

අපේ රටේ අධ්‍යාපනය පරිවර්තනීය යුගයකට එළැඹිය යුතු බවත් 50 දශකයේ සිට සිංහල පමණයි සිංහල පමණයි කියා ගන්නා යාන්ත්‍රණය තුළ රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ප්‍රාකාර කොටුපවුරු බැඳගෙන සීමාමායිම් සකස් කර ගෙන දූපත් මානසිකත්වයෙන් ක්‍රියාත්මක වන ගමන තුළ රටකට සැබෑ සෞභාග්‍යයක් උදාකර ගත නොහැකි බැවින් සිංහල ඇතුළු අනෙකුත් භාෂාවන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා සේම ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයටත් මුල්තැන ලබා දෙන්න කාලය එළැඹ ඇති බවද විපක්ෂ නායකවරයා කීවේය.

සාමාන්‍ය පෙළ විභාගයට පෙර සහ පසු ඉවත් වන සිසුන් වෘත්තීය පුහුණු අධ්‍යාපනය අපේක්ෂා කළත් වර්තමානයේ එහි ගුණාත්මකභාවය අඩුවී ඇති බවත් ඊට අමතරව අහිමි වන උසස් අධ්‍යාපන අවස්ථා ශක්තිමත් කළ යුතු බවත් විශ්වවිද්‍යාල වරම් හිමි නොවන සිසුන්ට පවා උසස් අධ්‍යාපන වරම් ලබා දිය හැකි අවස්ථා ඇති කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

 

 

Exit mobile version