Site icon Newshub

ජනපති COP සමුළුවේදී කරන්න යන දේ ගැන පරිසර ඇමති කියු දේ

මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) අතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා ධූත පිරිස මෙවර ඩුබායිහී පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වන බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ස්වභාවික සම්පත් ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමේ දී මෙන්ම පරිසරය සම්බන්ධ සෑම ක්‍රියාකාරකමක්ම විධිමත් මෙන්ම සැලසුම් සහගත විද්‍යාත්මක පදනමක් තුළ සිට කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා සිදුවන සුළු අතපසුවීමක් මහා විනාශයකට හේතුවිය හැකි බව ද අවධාරණය කළේය.

පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ස්වාභාවික පරිපර පද්ධති ආරක්ෂා කරගැනීම මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් මේ වන විට ගෝලීය අවධානය යොමු වී තිබෙනවා. ලෝක නායකයන් රැසක් පෙර නොවූ විරූ ලෙස ඒ පිළිබඳව උනන්දු වෙනවා. එහි තවත් සුවිශේෂි කටයුත්තක් ලෙස 2023 දෙසැම්බර් 04 වනදා ඩුබායි එක්ස්පෝ සිටිහිදී, පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව (Cop-28) හඳුන්වා දිය හැකියි. ඒ සඳහා ලෝක නායකයින් 136 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතයි.

පෘතුවියේ පවතින දේශගුණික විපර්යාසයන් පිළිබඳව මුළු ලෝකය අවධානය යොමු කර ඇති බව මෙයින් තහවුරු වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත මණ්ඩලයක් ද මේ සඳහා සහභාගී වනවා. එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) ඇතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරිමයි. එසේම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තීරණාත්මක යෝජනා කිහිපයක්ම කෙරෙහි ලෝක නායකයන්ගේ අවධානය යොමු කරවීමට ද ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතියි.

 

Exit mobile version