Site icon Newshub

බන්දුල ආර්ථික ඝාතකයින් රකින්න යනවාද?

රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර සිටියා.

ඒ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර තරමක් විවාදාත්මක තත්වයක් හටගනු ලැබුවා.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් විසින් සියලු කරුණු සොයා බලා නඩු තීන්දුව ලබාදී ඇති බැවින් තව දුරටත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකළ යුතු බවයි.

ආර්ථික ඝාතකයන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති හෙයින් තේරීම් කාරක සභාවෙන් ඵලක් නැතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක ද කියා සිටියා.

ආර්ථික ඝාතකයන් හොයාගන්නට පත්කළ තේරීම් කාරක සභාව මගින් තවදුරටත් පාර්ලිමේන්තුවේ කාලය මුදල් නාස්ති නොකර එය නතර කරන්නැයි ඉල්ලා සිටින බවද ඒ මහතා කීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දීර්ඝ දවසක් මේ පිළිබඳව සාකච්ඡා කොට කරුණු ඉදිරිපත් කර තීන්දුව ලබාදී ඇතැයි ද දිසානායක මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වීමට නැගී සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ සමහර ආර්ථිකය සම්බන්ධ තීන්දු මොළය කළඳක් හෝ තිබුනේනම් හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතුව තිබුන බවයි.

නමුත් තමන් වටේ සිටි ආර්ථික ඝාතකයින් කිහිපදෙනෙකුගේ පමණක් උපදෙස් ලබාගනිමින් ඇතැම් තීන්දු තීරණ ගත් නිසා ආර්ථිකය කඩ වැටුන බවයි.

ඉන් පසුව අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විමල් විරවංශ මන්ත්‍රීවරයා දැක්වූ අදහස් සම්බන්ධයෙන් කියා සිටියේ පසුගිය රජය බලයට ගෙනඒමට විමල් විරවංශ මන්ත්‍රීවරයා කළ කී දෑ සහ වර්තමානයේ ඔහු දක්වන අදහස් සම්බන්ධයෙන් සලකා බලන විට තමන්ට සිනහ විය යුත්තේ කොහෙන්දැයි සිතා ගත නොහැකි බවයි.

Exit mobile version