Site icon Newshub

පලස්තීනයට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව හිමි විය යුතුයි – අනුර

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් මහතා හමුවී තිබෙනවා.

පලස්තීන තානාපති කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති අතර මේ සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතාද සහභාගි විය.

මෙහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවන් දරුවන් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසකට ජලය, විදුලිය, ආහාර, සෞඛ්‍ය පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටීම පිළිබඳව ජාතික ජන බලවේගයේ කනගාටුව පලස්තීන තානාපතිවරයා වෙත පළ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යුදමය ගැටලුවට ඉතා ඉක්මනින් සාධාරණ මැදිහත් වීමක් කළ යුතු බවත් එම සංවිධානයේ ස්ථාවරය වන ඊශ්‍රායලය හා පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගැනීම වහා ක්‍රියාත්මක විය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.

එසේම නිදහස් පලස්තීනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් ඔවුන් හඬ නඟා ඇති බවත් පලස්තීනයේ ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව හිමි විය යුතු බවත් මෙහිදී අනුර කුමාර දිසානායක මහතා සිය පක්ෂයේ ස්‌ථාවරය පලස්තීන තානාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

Exit mobile version