Site icon Newshub

ලෝක ආර්ථිකය තුළ ඉන්දියන් සාගර කලාපයේ රටවලට තීරණාත්මක කාර්යභාරයක් පැවරී තිබෙනවා

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අපටම ආවේණික සංස්කෘතික, වෙළෙඳ හා එකිනෙකට බැඳුනු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉන්දියන් සාගරයේ සහයෝගීතාව කිසිවෙකුට විනාශ කළ නොහැකි අතරම එය කිසිවෙකුටත් අතුගා දැමිය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ගාල්ල ජෙට් වින් හෝටලයේ ඊයේ (12) පැවති “ගාලු කතිකාව 2023 – ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ” අමතමිනි.

“ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙල” කේන්ද්‍රීය තේමාව යටතේ ජාත්‍යන්තර සංවිධාන 11ක සහ රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයින්ගේ හා නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සමුළුව  පැවැත්වෙයි.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ පසුව එයින් ලබාගත් අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගැනීම සඳහා 2010 වසරේ ආරම්භ කෙරුණු “ගාලු කතිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව” මෙම වසරේ දී පවත්වනු ලබන්නේ එකොළොස් වන වතාවටය.

කලාපීය සහ ගෝලීය නායකයින් එකම වේදිකාවකට සහභාගී කරගෙන නාවික, පාරිසරික , සමුද්‍රීය සහ දේශපාලනික කතිකාවතක් ඇති කිරීම හා කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කිරීම සහ ඊට විසදුම් සොයාගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසුව පවත්වනු ලබන පළමු සමුළුව ද මෙය වේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මේ මොහොත අප ඉන්දියන් සාගරයේ නව නැඟී එන පිළිවෙළ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අවස්ථාවක්. විශේෂයෙන්ම මම ආචාර්ය මහාදේව මහතාගේ දේශනයට සවන් දීමෙන් පසුව ඉන්දියන් සාගරය යනු කුමක්ද සහ ඊට ආසියා-පැසිෆික්, ඉන්දු-පැසිෆික් සහ එක් තීරයක්-එක් මාවතක් සමඟ ඇති සම්බන්ධය කුමක්ද කියා ප්‍රශ්න කිරීමට මම සිතුවා.

ආසියා-පැසිෆික් යනු නිර්මාණයක්. එය ආරම්භ වූයේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු පැසිෆික් කලාපය තුළ බලය තහවුරු කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ කේන්ද්‍රස්ථානය හා සංවාද පද්ධතිය ගොඩනැගීම සහ චීනය ඇතුළු අනෙකුත් රටවල් එක් වූ “ආසියා-පැසිෆික් ආර්ථිකය ගොඩනැගීම” මගිනුයි. එය ඇත්ත වශයෙන්ම ආර්ථිකමය ගොඩනැගීමක් බව කිවහැකියි.

“එක් තීරයක්-එක් මාවතක්” යනු කුමක්ද? එය ආරක්‍ෂාමය ගොඩනැගීමක් ලෙස ඇතැම් අය දකින නමුත් අප බොහෝ දෙනා එය දකින්නේ, යුරෝපය හා අප්‍රිකාව සමඟ ඇති ඓතිහාසික වෙළෙඳ සබඳතා මත ගොඩනැඟෙන චීනය කේන්ද්‍ර කරගත් වෙළෙඳ ව්‍යාපෘතියක් ලෙසයි.

එසේම ඉන්දු පැසිෆික් යනු පසුකාලීනව ඇතිවූ ආරක්ෂක ගොඩනැගීමක්. එය කුමක්ද කියා මම ඔබට පැවසිය යුතු නැහැ. ඔබ සියලුදෙනා ඒ පිළිබඳ දැනුවත්.

ඒ වගේම ඉන්දියන් සාගරය යනු කුමක්ද? එය ගොඩනැගීමක් නොවෙයි. එය ශිෂ්ටාචාරයක්. එයයි වෙනස. මෙවැනි ගොඩනැගීම් සිදු වෙනවා. ඒ වගේම ඒවා නැතිවී යාමට ද පුළුවන්.

කාලයක් සෝවියට් සංගමය තිබුණා වගේම ඊට අදාළ යුරෝපීය ගොඩනැගීම වන බටහිර කඳවුරුද තිබුණා. දැන් ඒ සියල්ල අතුරුදහන් වී තිබෙනවා. දැන් යුරෝපා සංගමය තිබෙනවා වගේම යුක්‍රේන යුද්ධයකුත් තිබෙනවා. ඉතින් මේවා කාලයක් පැවත නැතිවී යන ගොඩනැඟීම්. ඔවුන්ගේ ගොඩනැගීම් ආරක්‍ෂාව සහ ආර්ථික විද්‍යාව මත පදනම් වී තිබෙනවා .

නමුත් ඉන්දියන් සාගරය ශිෂ්ටාචාරයක්. ලෝක ශිෂ්ටාචාරය බිහිවුයේ මෙතැනින්. මොහාන්දාස්ගේ සිට පාරාවෝවරුන් දක්වා අද අප සතුව ඇති සියල්ල මේ ශිෂ්ටාචාරයේ කොටසක්. ඒ වගේම එය ලෝකයේ හොඳම ආගම් බිහි කර ඇති ශිෂ්ටාචාරයක් බවද කිව යුතුයි.

හින්දු ආගමේ උපත, බුද්ධාගමේ උපත, සීක් ආගමේ උපත, ජෛන ආගම පැමිණියේ ශිෂ්ටාචාරයෙන්. ඉස්ලාම් ආගම පවා පැමිණියේ අරාබි අර්ධද්වීපයෙන්. එබැවින් මේ සියල්ල අපගේ චින්තනයේ ආධිපත්‍යය දරනවා.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ආක්‍රමණය කරන ලද සංස්කෘතීන් පවතින, ඒ වගේම අප එකිනෙකා සමඟ වෙළඳාම් කර ඇති, එකිනෙකා සමඟ සටන් කර ඇති, එකිනෙකා සමඟ සංස්කෘතික සම්බන්ධතා ඇති ශිෂ්ටාචාරයකට අප උරුමකම් කියනවා. එම ශිෂ්ටාචාරය විනාශ කළ නොහැකියි. එසේම එය කිසිවෙකුට අතුගා දැමිය නොහැකියි.

ඒ වගේම බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය යනු කුමක්ද? එහි සාමාජිකයන්ගෙන් බහුතරයක් මේ කලාපයට අයත් වෙනවා. මේ එකිනෙකට ඉදිරියට යන සම්බන්ධතාවයන් තිබෙනවා. ඒ නිසා අපට ආවේණික ශිෂ්ටාචාරයක් ඇති අතර විවිධාකාරයේ ගොඩනැගීම් තිබෙනවා. ඉතින් අප මේ ගොඩනැගීම් වලට ගැලපෙන ලෙස කටයුතු කරන්නේ කෙසේද කියා විමසා බැලිය යුතුයි.

ඉන්දියන් සාගරය යනු ආසියා-පැසිෆික්, ඉන්දු-පැසිෆික් සහ එක් තීරයක්-එක් මාවතක් කියන මේ කිසිවකට අයත් නොවන දේශපාලනමය සංවිධානයක්. බොහෝ ශිෂ්ටාචාර ආරම්භ වූයේ මෙතැනින්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සහ බටහිර අධිරාජ්‍යයන්ගේ බිඳවැටීම සිදුවූයේ ද ඉන්දියන් සාගරයේ යි.

කොළඹ සම්මන්ත‍්‍රණය, කොළඹ බලවතුන්ගේ සමුළුව, බැන්ඩුන් සමුළුව, අප්‍රිකානු-ආසියාතිකත්වය මතු කළේ ද මෙතැන සිටයි.නොබැඳි ජාතීන්ගේ සමුළුව ආරම්භ වූයේ ද මෙතැනින් බව කිවයුතුයි. එසේම දකුණ යන සංකල්පය ගොඩනැගුනේද මෙම ස්ථානයෙන්.ඒ නිසා අප මූලික ලෙසම දේශපාලන සංවිධානයක්.

යටත් විජිතවාදය බිඳ වැටෙද්දී ලෝකයේ යුරෝපීය නොවන අංශවලට පිළිගැනීමක් ලබා දුන්නේ අපියි. ඔබ අප සියල්ලන්ම පිළිගත් ඉන්දියානු සාගර කලාපීය සාම යෝජනාව අප සතුව තිබෙනවා. ඒ වගේම දිවංගත ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ සමාජ-ආර්ථික සහ අනෙකුත් සාමකාමී භාවිතයන් සඳහා ඉන්දියන් සාගරය පිළිබඳ සංකල්පය මෙන්ම ජකර්තා ගිවිසුම ද අප සතුයි.

මෙලෙස අපට ඉන්දියන් සාගරය පිළිබඳ බොහෝ නිර්වචන තිබෙනවා. ඒ නිසා දේශපාලනික වශයෙන් අප ආසියා පැසිෆික් හෝ අනෙකුත් සංවිධානවලට වඩා වෙනස්. අප දේශපාලනිකයි. අප දේශපාලනිකව සිතනවා. යුක්‍රේන යුද්ධය පිළිබඳ අප සියලුදෙනාට විවිධ අදහස් තිබෙනවා.‍

මේ පිළිබඳ දූපත් රාජ්‍යයන් සිතන්නේ කුමක්ද? සීෂෙල්ස් රාජ්‍යය සිතන්නේ කුමක්ද? එය ඉතා කුඩා නමුත් ඉතා වැදගත් රාජ්‍යයක්. මාලදිවයින සිතන්නේ කුමක්ද? ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඒනිසා මේවා බොහෝ ආරක්ෂක සැලසුම්කරුවන් විසින් ක්‍රියාත්මක නොකරන සලකා බැලීම් වෙනවා. නමුත් මේවා වැදගත් දේවල්.

දෙවැන්න ආර්ථික අංශයයි. ආචාර්ය මහාදේව ප්‍රකාශ කළ පරිදි නැගෙනහිර ආසියාවේ සහ ආසියා පැසිෆික් කලාපයේ ඇති වූ සංවර්ධනය නැතිවන්නේ නැහැ.

ඉන්දියන් සාගරයට අයත් ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් පිළිබඳ අවධානය යොමු කළහොත් ඒ හා සමානව, අනෙක් අතට, අපිට ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් ද හමුවෙනවා. ඒ නිසා ඉන්දියන් සාගරය තුළ විශාල ආර්ථික මධ්‍යස්ථාන දෙකක් ඇතිවෙමින් තිබෙනවා.

2050 පමණ වන විට අප්‍රිකාව වේගයෙන් වර්ධනය වනු ඇතියි. ඒ පිළිබඳ නොදන්නා අය 2063 අප්‍රිකානු න්‍යාය පත්‍රය කියවා බැලිය යුතුයි. ඒ අනුව එය තවත් විශාල ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතියි. ආසියා පැසිෆික් කලාපය නැතිවන බව ඉන් අදහස් වන්නේ නැහැ. නමුත් බටහිර, ආසියා පැසිෆික් සහ ඉන්දියාව යන ප්‍රධාන මධ්‍යස්ථාන තුන ඇතිවිය හැකියි.

එවිට වෙළඳාමේදී අපේම අනන්‍යතාවයක් තිබෙනවා. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවට තිබෙන්නේ උපායමාර්ගික පිහිටීමක්. අප කොළඹ වරාය දියුණු කරනවා නම් එය විශාල කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් වෙනවා.

අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ නිසා නැගෙනහිර ඉන්දියන් සාගරය දියුණු වන විට එහි ප්‍රතිලාභ අපටත් ලැබෙනවා.‍

ඒ වගේම අප හම්බන්තොට වරාය අප්‍රිකාව සමඟ සම්බන්ධ කළහොත්, එය තවත් වාණිජ වරායක් බවට පත්වෙනවා.

ශිෂ්ටාචාරය සහ වෙළඳාම පිළිබඳව ඇති දැනුම සමග අප එදෙස බැලිය යුතුයි. එසේ අවබෝධයක් නොමැති අය මේ පිළිබඳව විවිධ විවේචන එල්ල කරනවා. ඒ නිසා මෙම තත්ත්වයන් පිළිබඳ අප අබෝධයෙන් කටයුතු කළයුතුයි.

අපට වරායන් වැදගත්. අද ලෝකයේ ප්‍රධාන වරායන් අතරට ඩුබායි වරායත් එක්වෙමින් තිබෙනවා. ඒ සමඟ තවත් විශාල වරායන් ප්‍රමාණයක් එක්වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවට තවත් වරායන් ඉදිකළ හැකිනම් අප එය සිදු කරනවා. මෙම තරගය තුළ අප සිටිය යුතුයි.

 

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය රාම් මහාදේව මහතා,

වසංගතයෙන් පසු ලෝකය තුළ නව පිළිවෙලක් හැඩගැසෙමින් තිබෙනවා. එය බහු ධ්‍රැවීය පමණක් නොව විෂම ධ්‍රැවීය ද වනු ඇතියි. එයින් මා අදහස් කරන්නේ තාක්‍ෂණ දැවැන්තයින්, ගෝලීය බහු ජාතික සහයෝගීතාවයන්, ගෝලීය රාජ්‍ය නොවන සංවිධාන, අන්තර්ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම්, අන්තවාදී අධ්‍යාත්මික සහ ආගමික ව්‍යාපාර වැනි රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, ඔවුන් සියල්ලන්ම ජනතාව කෙරෙහි වැඩි පීඩනයක් ඇත කරනු ලබන බවයි.

මිත්‍රවරුනි, පරිවර්තනයන් සැමවිටම සාමකාමී වන්නේ නැහැ. නැඟෙනහිර යුරෝපය සහ බටහිර ආසියාව තුළ අප දකින ආකාරයේ යුද්ධ සහ ප්‍රචණ්ඩත්වය ද ඒවාට ඇතුළත් වනවා. මෙහිදී මා ඊශ්‍රායලයේ හමාස් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ එම කලාපවල ඇති වූ යුද්ධවලින් ජීවිත අහිමි වූ සියලු දෙනාගේ පවුල්වලට මගේ ශෝකය ප්‍රකාශ කරනවා.

මිත්‍රවරුනි, ශ්‍රී ලංකාව ඊයේ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ අමාත්‍ය මණ්ඩලයේ 23 වැනි රැස්වීමට සත්කාරකත්වය ලබා දුන් අතර ඉදිරි වසර දෙක සඳහා මෙම වැදගත් කලාපීය සංගමයේ සභාපතිත්වය භාර ගත්තා.

ගරු ජනාධිපතිතුමනි, මම ඔබට සුබ පතනවා. අහඹු ලෙස, ඉන්දියාව ද මෙම සංගමයේ උප සභාපති ධූරය ද භාර ගත්තා.

කලාපයේ තිරසාර සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සහ නැගී එන ලෝක අනුපිළිවෙල තුල සියුම්ව සැරිසැරීමට උපකාර කිරීම සඳහා වේදිකාවක් ලෙස ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය සංවර්ධනය කිරීම සඳහා අපගේ රටවල් දෙකට එක්ව කටයුතු කළ හැකි බව අපට විශ්වාසයි.

මෙම කලාපය සියලු ජාතීන්ගේ ක්‍රියාවන් සඳහා නීතියේ ආධිපත්‍යය පිළිබඳ මඟ පෙන්වන නිදහස්, විවෘත සහ සියල්ලන්ම ඇතුළත් කලාපයක් ලෙස ගොඩනැගීමට අප කැපවිය යුතු අතර මුහුදු සීමාවන් මුහුදු කොල්ලකෑම්, අධික සූරාකෑම සහ ත්‍රස්තවාදය සඳහා යොදා ගැනීමට ඉඩ නොතැබිය යුතුයි.

 

Exit mobile version