Site icon Newshub

ජනපතිගේ සංවාදය විද්වතුන් රැසකගේ ප්‍රසාදයට

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවිමට ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නගරයේ දී පැවැත්වු  සංවාදයේදී කලාපයේ භූ දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ ඉදිරිය  සම්බන්ධයෙන් දැක්වු අදහස් විද්වතුන් රැසකගේ ප්‍රසාදයට ලක්ව තිබේ. ජනාධිපතිවරයා මෙලෙස සංවාදයට එක්වුයේ  තුන්වන වාර්ෂික ඉන්දු පැසිෆික් දූපත් සංවාදයේදී සාකච්ඡාවකට එක්වෙමිනි.

තමා ඉන්දියාවට හෝ චීනයට පක්ෂග්‍රාහී නොවන බවත් ශ්‍රී ලංකාවට පමණක් පක්ෂ බවත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පැවසීය.  “ඉන්දු පැසිෆික්” කලාපය යන යෙදුම ම  බටහිර/ඇමරිකාව විසින් නිර්මාණය කරන ලද්දක්  බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව මෙන්ම කලාපයේ අනෙක් රටවල් ද සිය රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සඳහා කැපවී සිටින බව ද  එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාවෙන් සමන්විත ක්වොඩ් (Quad) රටවල් හා චීනයේ අරමුණුවලට සම්බන්ධ නොවන ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් ජාතීන්ට තමන්ටම ආවේණික වූ ප්‍රමුඛතා පවතින බවත් ඊට ගරු කිරීමට කැමති ඕනෑම හවුල්කරුවෙකු සමඟ සහයෝගීතාවය ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ඇමරිකාවේ වෙසෙන ශ්‍රි ලාංකේය චින්තනධාරීන් ඉතා ඉහළින් අගය කර ඇති අතර පැහැදිලිවම පක්ෂග්‍රාහී ඇමරිකානු මාධ්‍යවේදියෙකු සමඟ පැවති මෙම සම්මුඛ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා තම ස්ථාවරය මනාව පැහැදිලි කිරීමට සමත්වු බවත්  ඔහුගේ ප්‍රතිචාර සහ බුද්ධිය ඔහු කෙතරම් දැනුමකින් යුක්තද යන්න පෙන්නුම් කළ බවද ඔවුන් ප්‍රකාශ කර තිබුණි.

“ඉන්දු පැසිෆික්” කලාපය යන යෙදුම  ඇමරිකානු ප්‍රභාෂාවට ඇතුළත් වුයේ  ඔබාමා පාලන සමයේදී  ආසියාව කෙරෙහි වු දැඩි අවධානයේ ප්‍රතිඵලයක් ලෙසින් බවත්  ශ්‍රී ලංකාවේ වත්මන් සහ පෙර සිටි ඇමරිකානු තානාපතිවරු මෙම සංකල්පය ආක්‍රමණශීලී ලෙස භාවිතා කරමින් චීනය සමඟ ඇති එදිරිවාදිකම නිසා ශ්‍රී ලංකාව කොන් කිරීමට පවා උත්සාහ කළ බවද මෙම චින්තනධාරීන් විසින් අදහස් දක්වා තිබුණි.

මෙම සංවාදයේදී AUKUS යනු මිලිටරි සන්ධානයක් බව ජනාධිපතිවරයා සඳහන් කළ විට, එක්සත් ජනපද මාධ්‍යවේදියා එය එසේ නොවන බව පවසමින් ඉන් පලා යැමට උත්සාහ කළේ බවත්  නමුත් සැබැවින්ම ජනාධිපතිවරයාගේ අදහස් දැක්විම නිවැරදි බවද මෙම පිරිස පෙන්වා දී තිබේ

“චීන ඔත්තු නැව්” පිළිබඳ බිය ද අසත්‍ය බවත්, ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ කටයුතු කරන බවත්, එනිසාම ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් පිළිබඳ ඉන්දියාවට ඇති ආරක්ෂාව පිළිබඳ සංකාව ගැන ශ්‍රී ලංකාව ඉතා හොඳ අවබෝධයෙන් සිටින බවද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදි ප්‍රකාශ කළේය.  මෙය ඉතා හොඳ ආරංචියක් බව පවසන ශ්‍රීලංකා ඇමරිකානු බුද්ධිමතුන්    1980 ගනන්වල ඉන්දියාව බෙදුම්වාදී ත්‍රස්තවාදයට අනුබල දීමට සහ පෝෂණය කිරීමට හේතුව වූයේ ශ්‍රී ලංකාවේ  ඇමරිකානු හිතවාදී විදේශ ප්‍රතිපත්තිය  (සීතල යුධ සමයේදී) සහ එහි ඉන්දියානු විරෝධීභාවය නිසා බවද ඔවුන් පෙන්වාදී තිබේ.

“ජනාධිපතිවරයාගේ මෙම කතාබහ  අපට සුපුරුදු දේශනයන්ට වඩා වෙනස්  ප්‍රබෝධමත් ධනාත්මක ඉදිරි දර්ශනයක් විය. බටහිර මාධ්‍යවේදීන් ඔවුන්ගේ මනාව නිර්වචනය කරන ලද පක්ෂග්‍රාහීත්වයකින් යුතුව තුන්වන ලෝක නායකයින් කොටු කර ගැනීමට උත්සාහ කරති. චීනයට එරෙහි ඇමරිකාවේ මතවාදී සහ ආර්ථිකමය ගැටුමට ජාතීන් එකතුකරගැනීමට වඩා ප්‍රමුඛතා ඉන්දියානු සාගරය ආශ්‍රිත ජාතීන්ට ඇති බව ඔහු පෙන්වාදුන් ආකාරය ඉතා ප්‍රශංසනීයයි.” යනුවෙන් මෙම පිරිස සිය අදහස් දක්වා තිබීමද විශේෂ කාරණයකි.

අවංකවම   ඔහු ගැතිවන්නේ ඉන්දියාවට හෝ චීනයට නොව ලංකාවට  යැයි පැවසූ විට ඔවුන්  ප්‍රීතියෙන් පිනා ගියබවද ,  විශාල සුපිරි බලවතුන් විසින් වියන ලද භූ දේශපාලන  කූට දැල්වලට හසු නොවීමට ඇති, රජයේ එම ප්‍රබල ස්ථාවරය ශ්‍රී ලාංකික ඇමරිකානුවන් අගය කරන බවද ඔවුන් වැඩිදුරයත් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා සිදුකළ සාකච්ඡාව සම්බන්ධ සම්පුර්ණ කතාව මෙතැනින් 

 

 

Exit mobile version