Site icon Newshub

අදින් ඇරඹෙන G77 සමූළුවට චීනය සහය දෙන්නේ ඇයි?

දියුණුවෙමින් පවතින රටවල් අතර පවතින විශාලම සංවිධානය වන G77 කමිටුවේ රාජ්‍ය නායක සමුළුව මේදිනවල කියුබාවේ හවනා හිදී පැවැත්වේ. මෙවර සමුළුවෙන්දී වත්මන් සංවර්ධන අභියෝග: විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනවල කාර්යභාරය මෙන්ම G77 සහ චීනය යන තේමාවන් යටතේ පැවැත්වේ.  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබාගෙන ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් 77 ක ගේ එකතුවෙන් G77 කමිටුව 1964 ජුනි 15 වැනි දින පිහිටුවා ගන්නා ලදී.

බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා, ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් සහ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මෙන්ම දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇතුළු රාජ්‍ය නායකයින් 30 කට වැඩි පිරිසක් සමුළුවට සහභාගී වෙති.

“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේවනවිට කියුබාවට ගොස් ඇති අතර සුමුළුව අද(15) සහ හෙට(16) දිනවල පැවැත්වේ.  “වත්මන් සංවර්ධන අභියෝග: විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනවල කාර්යභාරය” යන තේමාව යටතේ මෙවර සමුළුව “මූලික” සංවර්ධන ගැටලු විසඳනු ඇති බව කියුබානු විදේශ කටයුතු අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් බදාදා මාධ්‍ය වාර්තාවල සඳහන් කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වැඩි සහයෝගීතාව, සමීප සහයෝගීතාවය සහ අභියෝගවලට ඒකාබද්ධ ප්‍රතිචාර දැක්වීම සඳහා සමුළුවේ ධනාත්මක දායකත්වයක් ලැබෙනු ඇති බවට චීනය අපේක්ෂා කරන බව චීන රජය සඳහන් කර තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අයිතිවාසිකම් සහ අවශ්‍යතා වඩාත් හොඳින් ආරක්ෂා කිරීම සඳහා කියුබාව සහ G77 කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Mao Ning ඊයේ (බ්‍රහස්පතින්දා) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත. කෙසේවෙතත් චීනය G77 හි සමාජිකත්වය ලබාගෙන නොමැත.

1964 දී පිහිටුවන ලද, G77 හි වර්තමාන  සාමාජිකයින් 130 කට අධික සංඛ්‍යාවක් සිටින අතර, කලාපීය මූලධර්ම මත පදනම්ව ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාවේ සාමාජික රටවල් අතර වාර්ෂිකව සභාපතිත්වය වෙනස් වේ. මෙම වසරේ සභාපතිත්වය කියුබාව විසින් දරනු ලබන අතර, රාජ්‍ය හෝ රජයේ ප්‍රධානීන් 30 ක් පමණ ඇතුළුව රටවල් 100 කට අධික සංඛ්‍යාවක නියෝජිත පිරිසක් මෙම සමුළුවට එක්වනු ඇති බව කියුබානු මාධ්‍ය වාර්තා කරයි.

 

Exit mobile version