Site icon Newshub

අපේ ආණ්ඩුවක් නැති වුනොත් ජනතාවට දුක් විඳින්න වෙනවා – මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටල් පරිශ්‍රයකදී පැවැත්වුනා.

“එක්වෙමු – වෙනසකට සැරසෙමු“ යන්න මෙවර සංවත්සරයේ තේමාව වී ට තිබුනා.

උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනවිරත්න, මෙරට සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.

ඇරියුම් කර තිබුණද හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊට සහභාගී වී සිටියේ නැත.

එහිදී අදහස් දැක්වූ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙනකොට ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවන්න ඕනේ. නමුත් රටේ ජනගහණයෙන් 60%ක් පමණ ඉදිරි මැතිවරණයේ දී ඡන්දේ දෙන්නේ කාට ද කියලා තාමත් තෝරගෙන නෑ. එහෙම නම් 60%ක් පමණ ජනතාව ආකර්ෂණය කර ගන්නේ කොහොමද කියන අභියෝගය අපි හමුවේ තියනවා. අපිට ප්‍රධාන වශයෙන්ම විසඳුම් තමයි අංක 1 පක්ෂයේ සියලුදෙනාගේ සමගිය සහ දැඩි සහෝදරත්වය සහ මිත්‍රශීලීභාවය. අපි මේ ලස්සන සුන්දර සැන්දෑවේ මේ වගේ සංවත්සරයක් සැමරුමක් තියලා සතුටු වෙනවා වගේම මේ සතුට යම් දීර්ඝ කාලීන සතුටක් කර ගන්න පුළුවන් වෙන්නේ අපි ආණ්ඩුවක් පිහිටුවොත් විතරයි. එහෙම නැතිනම් අපි මෙතන එකතුවෙලා ලබන සතුට ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරි වුණොත් අපිට අපේ ප්‍රතිපත්ති හා දර්ශන තුළ අපට නැවත අවුරුදු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සහ මේ රටේ පොදු මහ ජනතාවට දුක් විදින්නයි කරදර වෙන්නයි සිද්ධ වෙන්නේ.”

1951 වසරේ සැප්තැම්බර් 02 වනදා හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනු ලැබීය.

ශ්‍රී ලාංකේය දේශපාලනයේ අවස්ථා ගණනාවකදී ආණ්ඩු පෙරළි කිරීමට පෙරමුණ ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරටට ජනාධිපතිවරු තිදෙනෙකු සහ අග්‍රාමාත්‍යවරුන් හත් දෙනකු දායාද කරමින් සුවිශාල කාර්යභාරයක් සිදුකර ඇත.

Exit mobile version