Site icon Newshub

උද්ඝෝෂකයින්ට මහ බැංකු අධිපති එන්න කියයි- කට්ටිය ශේප් එකේ වැඩේ මඟ හරී

සේවක අර්ථසාධක අරමුදල සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට විරුද්ධව උද්ඝෝෂණය කළ පිරිස මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡාව මඟහැර තිබේ.

අදාළ උද්ඝෝෂකයින් දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දන්වමින් උද්ඝෝෂණයේ නිරතවු අතර මහබැංකු අධිපතිවරයා ඒ සඳහා එකඟතාවය පළකර තිබිණ. කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවට ඊයේ(28දා) පැමිණිය නොහැකි බවත් පැමිණීමට හැකි වෙනත් දිනයක් පසුව දැනුම් දෙන්නම් යනුවෙනුත් පවසා ඔවුන් ඉවත්ව ඇති බවද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් මහබැංකුව නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත පරිදි වේ,

“ඊයේ( 28දා)  , කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස දක්වමින් යම් පිරිසක් විසින් දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළින් සේවක අර්ථසාධක අරමුදලට සිදු වන්නේ යැයි කියනු ලබන බලපෑමට විරෝධය පාමින් පවත්වන ලද උද්ඝෝෂණය අතරතුර, ඔවුන් විසින් කොටුව පොලීසිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීමට එකඟ වෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් ඊයේ(28දා) දිනම පස්වරු 2.30 ට එම පිරිස නියෝජනය කරමින් පස්දෙනෙකුට එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණෙන ලෙස කොටුව පොලීසියේ නිලධාරීන් මඟින් දැනුම් දෙන ලදී. ‍ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාකච්ඡාව ලබාදීමෙන් පසුව එම පිරිස විසින් ‍කොටුව පොලීසියේ නිලධාරීන් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව ‍වෙත දන්වා සිටින ලද්දේ අද දින එම සාකච්ඡාව සඳහා ඔවුන්ට සහභාගි විය නොහැකි බවයි. ඒ අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සහ ඒ තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ දැනට පවතින ශේෂය සුරක්ෂිත වන්නේ කෙසේද, සහ ඉදිරි වසර කිහිපය තුළ අවම වශයෙන් පසුගිය වසරවලදී ලබා දුන් ප්‍රතිලාභ දේශීය ණය ප්‍රශස්තකරණය තුළින්ද ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබූ පිරිසට ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් කරුණු පැහැදිලි කරගැනීමට තිබුණු අවස්ථාව මඟ හැරිණි.”

Exit mobile version