Site icon Newshub

ජාතිවාද කෝලාහල ගැන කිසිම බුද්ධි තොරතුරක් ලැබී නෑ – රාජ්‍ය ආරක්ෂක ඇමති

රටේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලාහල සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් කිසිම තොරතුරක් ලැබී නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර එය තමා ප්‍රකාශ කරන්නේ වගකීමෙන් බවද ඔහු සඳහන් කළේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“විවිධ කට කතා, ෆේස්බුක් පණිවිඩවලට උත්තර දිදී ඉන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු දක්වනවා. රටේ සමහර තැන් වල සමහර කණ්ඩායම් දේශපාලනික උත්තේජනය උඩ මේ රටේ ජාතිවාදී කලබල හා කෝලාහල ඇති කිරීමට විවිධ උත්සාහ ගන්න බව අපිට පැහැදිලිව නිරීක්ෂණය වනවා. ඒ කණ්ඩායම් ගැන රජයේ ආරක්ෂක අංශ රජය අවධානය යොමු කරලා තියෙනවා. මුලතිව් ප්‍රදේශයේ ඇන්තනී ජෙගනාදන් නැමැති පුද්ගලයකු කුරින්දි පුරාවිද්‍යා භූමිය ගැන විශේෂ අවධානය යොමු කරන කෙනෙක්. කතෝලික බැතිමතෙක්.ඔහුට මෙතන තියෙන ප්‍රශ්නය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔහු මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න විශේෂ උත්සාහයක් ගන්න බව පේනවා.”

පසුගිය දින කිහිපය තුල කුරුන්දි විහාරය කේන්ද්‍ර කරගනිමින් ඇතිව තිබෙන උණුසුම් තත්වය සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘත්ති පළවූ අතර ඉන්දීය බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් එය ජාතිවාදී කෝලාහලයක් දක්වා වර්ධනය වීමට අද ඇති බවත් 2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සිදු වූ සමාජ කැළඹීම යළි රට තුළ ඇති විය හැකි බවටත් තොරතුරු වාර්තා වී තිබුණි.

නමුත් එය හුදෙක් ඡන්ද ගුණ්ඩුවක් පමණක් විය හැකි බවටත් එමඟින් එළැඹෙන මැතිවරණයකදී යම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් වාසි ලබාගැනීමට සුදානම් වන බවටද ප්‍රවෘත්ති පළවිය.

Exit mobile version