Site icon Newshub

අර්බුද නිසා නවතා දැමූ “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය 2024 සිට

විසි එක්වන සියවසට ගැළපෙන සිසුවා නිර්මාණය කිරීමට ලබන වසර වන විට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක්     

ලබන වසර වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් විසි එක්වන සියවසට ගැළපෙන සිසුවා නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා  පැවසීය.

රට තුළ තිරසර සහ ගුණාත්මක  අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  මගපෙන්වීමෙන් ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට සිදු කෙරෙන බවත්, එහිදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විෂය මාලා හඳුන්වාදීම මෙන්ම මානව සම්පත නිසි අයුරින් කළමනාකරණය  කිරීම ද සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස්  පළ කර සිටියේ, ජනාධිපති මාධ්‍යය  කේන්ද්‍රයේ  අද (10) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

විවිධ හේතුන් මත නවතා දැමුණ “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය 2024 වසරේ සිට යළිත් ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.

සංවර්ධිත රටවල අධ්‍යාපන අමාත්‍යංශය මධ්‍යම රජයට අයත් නොවන අතර එය පවතින්නේ පළාත් අමාත්‍යවරයෙකු යටතේයි. ඉන්දියාව, කැනඩාව, ජපානය වැනි රටවල  මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන නිසා එහි දරුවන්ගේ  අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත වී තිබෙනවා.

සන්ධීය රාජ්‍යවල එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබුණ ද අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේයි.  ඒ වගේම පාසල් 399 ක් හැරුණු කොට අනිත් සියළුම පාසල් පවත්වාගෙන යනු ලබන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේයි.

2001 වර්ෂයේදී ජාතික පාසල් දහසක් නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය සිදුකරන විට මේ රටේ තිබුණේ ජාතික පාසල් 17යි.

නමුත් එක් එක් අධ්‍යාපන අමාත්‍යවරු ගත් තීන්දු තිරණ සහ දේශපාලන වැඩසටහන් අනුව ජාතික පාසල් ප්‍රමාණයේ වැඩිවීමක් සිදු වුණා. නමුත් ඒ තුළින් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ඇතිවූ බවක් කිව නොහැකියි. එක රැයකින් ජාතික පාසල් 28ක් බිහිවූ යුගයක් ඉතිහාසයේ තිබෙනවා. නමුත් මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට අවශ්‍යයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට සිසුන් පෙළගැස්විය යුතුයි.

කොවිඩ් 19 අභියෝගය හමුවේ මෙරට  අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ විශාල පසුබෑමක්  සිදු වුණා. ඒ වගේම පසුගිය කාලයේ රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ  ඉන්ධන සහ ගෑස් හිඟයත් සමග ඇති වූ සමාජයීය ගැටලු හේතුවෙන්  පාසල් නිසියාකාරව පවත්වාගෙන යාමට හැකි වුණේ නැහැ.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා වෘතීය සමිති සහභාගී වූයේ නැහැ. එම තත්ත්වය දැන් සමතයකට පත්කරගෙන උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම මේ වන විට සිදුකරගෙන යනවා. ලබන මාසයේ මැද වන විට උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම මෙම වසරට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයත් දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලය තුළ පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි.

එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙනවා.  බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය  සමග   සම්බන්ධ වෙමින් පාසල් තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම්  කටයුතු  ආරම්භ කිරීමට ද සැලසුම් සකස් කර තිබෙනවා.  මේ සඳහා ගුරුවරුන් 13,800ක් මේ වන විට පුහුණු කර අවසන්. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන කටයුතු සඳහා පෙළපොත් යාවත්කාලීන කිරීම ද  කඩිනම් කර තිබෙනවා. තොරතුරු තාක්ෂණය සහ කෘතිම බුද්ධිය යන විෂයන් 6 වසරේ  සිට 9  වසර දක්වාත් 10 වසරේ සිට 13 වසර දක්වාත් කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

විසි එක්වන සියවසට අදාළ සිසුවා නිර්මාණය කිරීමට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ  පරිවර්තනීය වෙනසක් ඇති  කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි. රට තුළ තිරසර සහ ගුණාත්මක  අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  මගපෙන්වීමෙන් ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට සිදු කෙරෙනවා.

ඒ වගේම මයික්‍රෝ සොෆ්ට් වැනි ආයතනවලින් තොරතුරු තාක්ෂණයට අදාළ  සහයෝගය ලබා ගැනීමට  කටයුතු කරනවා.

මේ වන විට විදුහල්පති පුරප්පාඩු පන්දාහක් පමණ  තිබෙනවා. එය පියවීම සඳහා තරග විභාගයක් පවත්වා බඳවාගැනීම් සිදුකිරීමට යාමෙදී වෘත්තිය සමිතියක් අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා. ගුරු පරිපාලන සේවය සඳහා බඳවාගැනීමට පුරප්පාඩු 22,000ක් පමණ තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය සේවයේ සිටි අයත් අයදුම්කර තිබෙන අතර ඔවුන්ට තරග විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව හිමි නොවීම පිළිබඳව ද අධිකරණය හමුවට ගොස් තිබෙනවා.

මෙම බඳවා ගැනීම් ප්‍රමාද වී තිබෙන්නේ ඒ නිසයි.   සීයයක පිරිසකගේ මානව හිමිකම් ගැන කියමින් අධිකරණයට යාම නිසා ලක්ෂ හතළිස් දෙකක් වන සිසු දරුවන්ගේ මානව හිමිකම් මේ වන විටත් බිඳ වැටී තිබෙනවා. එම නිසා අධිකරණය මේ පිළිබඳව කඩිනම් තීන්දුවක් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අග්‍රාමාත්‍යවරයාව  සිටියදී  ඉදිරිපත් කළ තර්ටීන් ප්ලස් (13+) අධ්‍යාපන වැඩසටහන ඉදිරියට කරගෙන යාමට අප කටයුතු කරනවා.  අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා තේරීම් කාරක සභාවක් ස්ථාපිත කර අවශ්‍ය යෝජනා මේ වන විට සකස් කරමින් තිබෙනවා. ඒ අනුව  ඉදිරියේදී රාජ්‍ය නොවන ආයතන සමඟ ඒකාබද්ධව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප සකස් කරනවා.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහාත් ණය පහසුකම් ලබාදීමට  කටයුතු කරනවා වගේම ඔවුන් මේ රටේ ආර්ථිකයට දායක කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමටත් අප කටයුතු කරනවා.

වතුකරයේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය සුරැකීම සඳහා වතුකරයෙන්  තෝරා ගන්නා සිසුන් ගුරුවරුන් ලෙස පුහුණු කිරීම සඳහා කොටගල ප්‍රදේශයේ පුහුණු විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.  පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම මගින් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට කැපවෙනවා.

මෙම සියලු කාරණා සමග මෙරට  අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ පරිවර්තනය වෙනසක් ලබන වසරේ සිට ඇතිවනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

 

Exit mobile version