Site icon Newshub

අනිවාර්යෙන්ම මෙරට රාජ්‍ය වියදම් පාලනය කළ යුතුමයි – චිත්‍රාල් ජයවර්ණ

අපේ රටට ලැබුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රදානයත් සමඟ මෙරට ආර්ථිකය නැවත ප්‍රතිසංවිධානය වීම අරඹා ඇත. මෙරටේ ආර්ථික ප්‍රවේශය නිවැරදි මාවතට ප්‍රවිෂ්ට වීම යනු පුරවැසියන් ලෙසට ශ්‍රී ලාංකිකයන්ට සන්තුෂ්ටිය දනවන්නකි. එහිදී ආර්ථික කළමණාකරණය කෙසේ විය යුත්තේද? මෙම ජාත්‍යන්තර මූල්‍ය ණය ප්‍රදානය මඟින් මෙරට ආර්ථික සහ සමාජ තත්ත්වය නැවත සකස් වන ආකාරය සහ පුරවැසියන්ගේ සමාජ වගකීම කෙසේ විය යුතුද යන්න ගැන ප්‍රවීණ ආර්ථික විශ්ලේශක සහ ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජික චිත්‍රාල් ජයවර්ණ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රදානයත් සමඟ මෙරට ආර්ථික තත්ත්වය කළමනාකරණ කර ගත යුතු ආක­ාරය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

අපේ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලේ පළමු කොටස විදිහට ලැබුණේ ඩොලර් බිලියන දෙකයි දශම නවයක්. ඒ ණය ප්‍රමාණයෙන් පමණක් අපේ රටට වැටී ඇති ආගාධයෙන් ගොඩ එන්න බැහැ. එහෙම කිසිවකු හිතනවා නම් ඒ නිගමනය වැරැදියි. ඒත්, මේ ණය මුදල මෙරටට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කිරීමත් සමඟ අපේ රට ණය ලබා දීමට නුසුදුසු බංකොලොත් රටක් යන කළු පැල්ලම මැකී යනවා. ඒක අපේ රටට රටක් විදිහට ලැබුණ ලොකු අවස්ථාවක් විදිහට සඳහන් කළ හැකියි. දැන් අපේ රටට ආසියානු සංවර්ධන බැංකුව වැනි තවත් ජාත්‍යන්තර බැංකු සහ සංවිධාන හරහා ණය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අපේ රට ගැන ලොකු විශ්වාසයක් අයි. එම්. එෆ්. ණයත් සමඟ ඇති වෙලා තිබෙනවා. මීට පෙර අපේ රට තිබුණේ ණය ගෙවා ගැනීමට නොහැකි ලෝකයේ බංකොලොත් රටක් විදිහටයි. ඒත්, දැන් අපේ රට බංකොලොත් රටක් නොවෙයි. ජාත්‍යන්තරව ණය ලබා ගත හැකි රටක්. දැන් අපේ රටට කෙමෙන් කෙමෙන් නැවත ශක්තිමත් ආර්ථිකයක් වෙත ගමන් කරන්න හැකියාව තිබෙනවා. මම කියන්නේ නැහැ ගිය මාසයේ ණය ගත්තා මේ මාසයේදී ප්‍රශ්න ඉවරයි දැන් හරි කියලා. ඒත් අපට හැකියාව ලැබී තිබෙනවා, නැවත කෙමෙන් හොඳ තත්ත්වයට පත්වීමට. මේ මොහොත වන විට අයි. එම්. එෆ්. ණය මුදල කියන්නේ අපේ ආර්ථිකය නැවත ශක්තිමත් වීමට හොඳ අවස්ථාවක් වගේම අපේ ආර්ථිකය ශක්තිමත් කියන රක්ෂණය ලැබී තිබෙනවා. ඒක අපේ රටේ ආර්ථිකයට හොඳ සුබ නිමිත්තක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

 

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වැනි අංශ වෙත ඒ මුදල් යෙදවිය හැකිද?

මේ ණය මුදල අපේ රටට අවශ්‍ය ඕනෑම දේකට යොදා ගැනීමට බාධාවක් නැහැ. එහෙත්, අපි ඒ ණය මුදල යොදා ගත යුත්තේ අපේ විදේශ සංචිත වැඩි කර ගැනීම වැනි දේ සඳහායි. ඒ අතර අපට ඒ හැකියාව නිර්මාණය කර ගත යුතුයි. නැවත අපේ අපනයන ආදායම ඉහළ දමා ගැනීම සඳහා ආයෝජන අවස්ථා නැවත පුළුල් කිරිම, අලුත්, අලුත් ආයෝජන ක්‍රම සහ විධි හඳුනා ගැනීමත් සංචාරක කර්මාන්තය නැවත ශක්තිමත් විදිහට ස්ථාපිත කළ යුතුයි. ඇත්තෙන්ම අපේ රටට සංචාරක කර්මාන්තය ඔස්සේ ලොකු ආදායම් මාර්ගයක් විවෘත කර ගැනීමට පුළුවන්. මෙවර අපේ සංචාරක කර්මාන්තයෙන් අදාළ ආදායම් වැඩි කර ගැනීමට හැකි ක්‍රම ඇති කර ගත යුතුයි. මෙවැනි සංචාරක කර්මාන්ත ඇතුළු මාර්ග ශක්තිමත් කර ගැනීම මඟින් අපේ විදේශ සංචිත ඉහළ දමා ගැනීම පමණක් නොවෙයි රටේ දෛනික වියදම් සඳහා ද මෙවැනි ක්‍රම මඟින් අවශ්‍ය වියදම් පියවා ගැනීමට හැකියාව තිබෙනවා.

 

යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි ක්‍රියා පිළිවෙත් සඳහා යොදා ගත හැකි නව ක්‍රම පිළිබඳ පැහැදිලි කළ හැකිද?

ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි තැන්වලින් ලැබෙන මුදල් යොදවන්න පුළුවන්කම තිබෙනවා. අපට නැවත ණය ලැබෙන ක්‍රමවේදය තුළ අපට රටට ආදායම් ඇති කර ගත හැකි සහ ආයෝජකයන්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීමට අවශ්‍ය මාර්ගය සකස් කළ හැකි යැයි අප විශ්වාස කරනවා.

 

අප රට තවමත් ක්‍රියාත්මක වෙන්නේ ණය නොගෙවන බංකොලොත් රටක් විදිහටයි. අප රට නැවත ආර්ථික වශයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියා මාර්ගයට එළඹිය හැකි ආකාරය ගැන පැහැදිලි කර දෙන්න?

අපට මුදල් ලැබුණා කියා හිතුමතේ ක්‍රියාත්මක වීම නොවෙයි වෙන්න ඕනෑ. ප්‍රමුඛතා සලකා බලා වැඩ කිරීමයි සුදුසු. එතැනදී අපි නිතරම අවධානය යොමු කළ යුත්තේ අපට ප්‍රමුඛව අවශ්‍ය කුමක්ද යන්නයි. ආර්ථික තත්ත්වය අනුව අප ප්‍රමුඛතාව හඳුනාගෙන වැඩ කිරීම මඟින් ආර්ථිකය නැවත කඩා වැටීම වළක්වා ගැනීමට පුළුවන්කම තිබෙනවා. අපට එක රැයෙන් සියල්ල හොඳ තත්ත්වයට පත් කරන්න බැහැ ඒත්, මේ අාකාරයේ විධිමත් සහ ප්‍රමුඛතා ක්‍රමවේදයක් මඟින් ආර්ථිකය නැවත කෙමෙන් සකස් කර ගැනීමට පුළුවන්කම ලැබෙන බව ස්ථිරයි.

 

අපට ණය මඟින් පමණක් ආර්ථිකය දීර්ඝ කාලීනව ඉස්සරහට අරන් යන්න බැහැ. ඒ සඳහා නව ක්‍රම සහ විදෙස් ආයෝජකයන් අකර්ෂණය කර ගැනීමට කටයුතු කළ යුතුයි. මේ සඳහා රට තුළ මොන විදිහේ ක්‍රමයක් තිබිය යුතුද ?

අපේ රට තුළ දේශපාලන ස්ථාවරභාවය තිබිය යුතුයි. එහෙම නොවුණොත් ආර්ථික ස්ථාවරභාවය ඇති කර ගන්න බැහැ. ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවය යන දෙකම තිබුණොත් තමයි රටකට ආයෝජකයන් ඇදී එන්නේ. අපි මුලින්ම විදේශ ආයෝජකයන් තුළ විශ්වාසය ඇති කළ යුතුයි අප රට ගැන. අපේ රටේ ආයෝජනය කිරීම මඟින් ඇති වන වාසි පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම කළ යුතුයි. ඒ විදිහේ ක්‍රම මඟින් අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම කරන අතර ණය කළමනාකරණයට ද එයින් විශාල අවස්ථාවක් ලැබෙනවා.

ඒ වගේම පසුගිය කාලයේ මෙරට රැකියා අවස්ථා ලක්ෂ ගණනක් නැති වුණා. ඒක රටට ලොකු ප්‍රශ්නයක් බවට පත්වයි තිබෙන්නේ. ඒ නිසා නැවත රැකියා අවස්ථා බිහි කළ යුතුයි. ඒ සඳහා ආයෝජකයන් නැවත මෙරට වෙත ඇදී ඒම ඉක්මන් විය යුතුයි. එමඟින් මෙරට නිෂ්පාදන අවස්ථා ද ඉහළ යාම සිදු වෙනවා.

 

මෙරට මෙතෙක් කල් පැවැතියේ සාම්ප්‍රදායික අපනයනය මූලික කර ගත් නිෂ්පාදන ක්‍රමයක්. ඒත්, අලුත් කාලයට ගැළපෙන විදිහට අපනයන නිෂ්පාදන වෙනස් වෙන්න ඕනෑ කුමන ක්‍රමයටද?

 

අපි මෙතෙක් කල් අනුගමනය කළේ තේ, පොල්, රබර් හා ඇඟලුම් කර්මාන්තය මූලික කර ගත් ක්‍රමයකුයි. එහෙත්, අදට ඒවා පමණක් ගැළපෙන්නේ නැහැ. මේ සාම්ප්‍රදායික ක්‍රම අප අලුත් නිෂ්පාදන වෙත යොමු වෙන්න ඕනෑ. අලුත් නිෂ්පාදන අපනයනය වෙත යොමු වීම මඟින් අපට අලුත් ආර්ථික ක්‍රමයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා. දැන්, ආර්ථික තත්ත්වය අනුව ඇඟලුම් කර්මාන්තය ලොකු පසුබෑමකයි තිබෙන්නේ. ඒ නිසා අපේ රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා දැන් වෙනත් රටවලට ඉවත් කරගෙන යමින් තිබෙනවා. ඒ සියලු කරුණු කාරණා අනුව දැන් අපි අලුත් නිෂ්පාදන සඳහා යොමු විය යුතුව තිබෙනවා.

 

අපේ තානාපති අංශ හරහා විදෙස් ආයෝජකයන් මෙරටට ඇද ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකියිද?

අනිවාර්යෙන්ම. අපේ තානාපති කාර්යාල හරහා ආයෝජකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකියි. සෑම රටකම නොවෙයි. අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය වගේ රටවල තානාපති කර්යාල හරහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ සඳහා සුදුසුකම් ඇති තරුණ නිලධාරියකු පත් කළ හැකියි. ඔවුනට පැවරිය යුතු රාජකාරිය බවට පත්විය යුත්තේ, විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කර ගන්න පුළුවන්කම සහ ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි වීමයි. එමඟින් මෙරටට අලුත් ආයෝජකයන් ඇද ගැනීමට පුළුවන්කම ලැබෙනවා. අපේ තානාපති සේවය මේ විදිහේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් තානාපති අංශයෙන් රටට සිදුවෙන්න ඕනෑ වගකීම් ඉටු කිරීමට හැකියාව ලැබෙනවා.

ඇතැම් රටවල විශාල මුදල් ප්‍රමාණයක් තිබුණ ද ඒ සඳහා නිසි ආයෝජන අවස්ථා නැති පිරිස් සිටිනවා. එවැනි කණ්ඩායම් අපේ රටට ආයෝජනය සඳහා ගෙන්වා ගත යුතුයි. එවැනි නිර්මාණශීලී වැඩසටහන් මඟින් අපට ණය මත පමණක් යැපෙන ක්‍රමය වෙනුවට ආයෝජකයන් ආකර්ෂණය කර ගත හැකි නව ක්‍රමවෙත මාරු වෙන්න හැකියව තිබෙනවා.

 

මෙරට ආර්ථික අර්බුදයක් ඇති වීමට සහ ණය බර ඉහළ යාමට මූලික හේතුව බවට පත්ව තිබෙන්නේ රාජ්‍ය වියදම් ඉහළ යාමයි. මේ තත්ත්වය පාලනය සඳහා මොන විදිහේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකිද ?

 

අනිවාර්යෙන්ම මෙරට රාජ්‍ය වියදම් පාලනය කළ යුතුමයි. මේ සඳහා ක්‍රමානුකූල වියදම් පාලන වැඩපිළිවෙළක් ඇති කිරීම මේ සඳහා සුදුසු ක්‍රමයක් විදිහට හඳුන්වා දිය හැකියි. උදාහරණයක් විදිහට යටිතල පහසුකම් සංවර්ධනය යම් කාලයකට සීමා කළ හැකියි. දැනටමත් අපේ රටේ යටිතල පහසුකම් විශාල ලෙස සංවර්ධනය වෙලා තිබෙන්නේ. විදුලිය, ජලය, මාර්ග ඇතුළු පහසුකම් රට පුරා පැතිර තිබෙනවා. ඒ නිසා මේ සඳහා තවදුරටත් කඩිනමින් මුදල් යෙදවිය යුතු නැහැ. ඒ සඳහා යොදන මුදල් පාලනය කළ හැකියි. විදුලි නිෂ්පාදනය වැනි අංශ සඳහා ලොකු වියදමක් යනවා. ඒ නිසා අපට පුළුවන් සම්ප්‍රදායික ක්‍රම වෙනුවට සූර්ය ශක්තිය, සුළං ශක්තිය වැනි අංශ වෙත යොමුවෙන්න. මෙය එක් උදාහරණයක් පමණයි. එවැනි තවත් බොහෝ අංශ තිබෙනවා, රාජ්‍ය වියදම් පාලනය කිරීමට. ඒ අනුව කටයුතු කිරීම මඟින් අපට රාජ්‍ය මුදල් වියදම් වීම කළමනාකරණය කිරීමට හැකියාව ලැබෙනවා.

 

 පසුගිය කාලයේදී ආනයන කිරීම් රැසක් සීමා කරනු ලැබුවා. අද වන විට රට කෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා මේ පාලනය කිරීම් නවතා දැමිය හැකිද ?

මූල්‍ය අරමුදල කියලා තියෙනවා නම්, මේ පාලනය කිරීම් කෙමෙන් ලිහිල් කරන්න කියලා. ඒත්, මම යෝජනා කරනවා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කෙරෙහි ඇති ආනයන පාලනය ඉවත් කිරීම තව කලක් පවත්වා ගෙන යන්න කියලා. එමඟින් අපේ රටේ ආර්ථිකය වඩාත් ශක්තිමත් වීම සිදු වෙනවා.

 

 

කඩා වැටුණු අපේ ආර්ථියකය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තව කොතරම් කාලයක් ගත වේවිද ?

මේ අවුරුද්දත් සෘණ ආර්ථික තත්ත්වයකුයි බලාපොරොත්තු විය හැක්කේ. මෙරට ආර්ථිකය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීම 2025 සිට සිදුවෙනු ඇතැයි පුරෝකථනය කළ හැකියි. එතෙක් අපට රටේ ආර්ථිකය නිසි විදිහට කළමනාකරණය කිරීමට සිදුවේවි.

 

 

Exit mobile version