Site icon Newshub

ලොව හොඳම සංචාරක ගමනාන්ත විසිතුන අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

කලාපීය වශයෙන් ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ශ්‍රී ලංකාව මේ වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස නම් කර තිබේ.

2023 වසරේ සංචාරය කිරීම සඳහා හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබෙන අතර ෆෝබ්ස් ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදුකර ඇති බව ද වාර්තා වෙයි.  සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දෑ ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ද ශ්‍රී ලංකාව මේ වසරේදී සංචාරය කිරීමට වඩාත් සුදුසු රාජ්‍යයක් බවට ප්‍රකාශ කර ඇත.

ඇයගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකාව Forbes ලැයිස්තුවේ ලැයිස්තුගත කර තිබෙන අතර, මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ජාත්‍යන්තරයෙන් තැනක් හිමිවීමට හේතු වී තිබෙන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ Visiting Blogger වැඩසටහන යටතේ 2022 වසරේදී ජුලියානා ලංකාවේ සිදුකළ සංචාරය බව වාර්තා වෙයි. නුවරඑළියට පැමිණීමෙන් පුංචි එංගලන්තයක අසිරිය විඳ ගැනීමේ හැකියාවක් ඇති බව ද ඇය පෙන්වා දී තිබේ.

ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නෙකුට ලැබිය හැකි සුන්දරතම අත්දැකීම් ලෙස පෙන්වා දී තිබෙන්නේ “ඔබට අලි ඇතුන් සිටින භූමියක සෆාරි යා හැකිය, ඉන්දියානු සාගරයේ තල්මසුන් නැරඹීමට ගොස් කුරුල්ලන් ද නැරැඹිය හැක, කඩොලාන පරිසරයක ජෙලිෆිෂ් සහ වඳුරන් දැක ගන්නට ද හැක”යනුවෙනි.

යාල ජාතික වනෝද්‍යානය, අනුරාධපුරය සහ මහනුවර ද මෙම සංචාරක ගමනාන්ත අතරට අයත්ව ඇත.

මේ අතර චීන රජය විසින් තම පුරවැසියන්ට සංචාරය කිරීම සඳහා අනුමත කරන රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ චීන සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇති බව පෙන්වාදෙන ඒ මහතා ශ්‍රී ලංකාවට අමතරව චීන වැසියන්ට සංචාරය කළ හැකි ගමනාන්ත ලෙස තායිලන්තය, සිංගප්පූරුව, පිලිපීනය සහ නවසීලන්තය වැනි රටවල් ද එරට රජය විසින් නම් කර තිබේ.

Exit mobile version