Site icon Newshub

ලංකාව ණය බරෙන් නිදහස් කරන්න – ලෝක විද්වතුන් ණය හිමියන්ගෙන් ඉල්ලයි

කොවිඩ් 19 වසංගතයෙන් ඇතිවූ අයහපත් බලපෑමට අමතරව තිරසර නොවන ලෙස ණය බර ඉහළ මට්ටමක පැවතීම සහ ගෙවුම් ශේෂයේ පැවති බරපතල අසමතුලිතතාවයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීක අර්බුදය සංකීර්ණ වෙමින් පවතී. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථීකයේ ගැඹුරු ප්‍රතිසංශෝධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම ආර්ථීකය ස්ථාවර තත්ත්වයට ගෙන ඒම සඳහා අතිශයින් වැදගත් වේ. ශ්‍රී ලංකාව මෙවැනි අර්බුදකාරී තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව නංවා ගැනීම වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන අතර ඒ වෙනුවෙන් රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව වැඩසටහන් ගෙන තිබෙන බව පෙනී යයි.

විවිධ ගැටලු

පසුගිය 2022 වසරේ දකුණු ආසියානු කලාපයේ ආර්ථීක වර්ධනයේ සාමාන්‍යය ගත් විට සියයට 5.8ක් වූ බවට ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන අතර එය එම වසරේ ජූනි මාසයේ දී සිදු කරන ලද පුරෝකථනයට වඩා සියයට 1ක පහළ යාමකි. මෙය 2021 වසරේ දී බොහොමයක් රටවල් වසංගත තත්ත්වයෙන් ඇතිවූ පසුබෑමෙන් පසුව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින අවස්ථාවේ ඇති වුණු සියයට 7.8ක වර්ධනයට සාපේක්ෂව අඩු අගයකි.

ආර්ථීක පීඩනය සියලුම දකුණු ආසියානු රටවලට බලපෑමක් ඇති කරමින් පවතින අතර ඇතැම් රටවල් අනෙකුත් රටවල්වලට වඩා හොඳින් මෙම තත්ත්වය කළමනාකරණය කර ගනිමින් සිටී. කොවිඩ් 19 මඟින් ඇති කරනු ලැබූ බලපෑම සහ යුක්රේනයේ පවත්නා යුද්ධය නිසා භාණ්ඩවල මිල ගණන් වාර්තාගත අන්දමින් ඉහළ යෑම ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් ඇති කළේය. මේ තත්ත්වය ණය මඟින් ඇති වී තිබෙන පීඩනය වැඩි කිරීමටත් විදේශ විනිමය සම්පත් අඩු කිරීමටත් හේතු විය. මෙතෙක් කල් වාර්තා වූ දරුණුතම ආර්ථීක අර්බුදයට ලක් වෙමින් ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය පසුගිය 2022 වසරේ දී සියයට 9.2ක ප්‍රතිශතයකින් සහ 2023 දී සියයට 4.2ක ප්‍රතිශතයකින් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කිසියම් රජයක් විසින් දෛනිකව යම් ප්‍රමාණයකින් වැය කළයුතු අත්‍යවශ්‍ය වියදම් සමුදායක් තිබේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම, විශ්‍රාමිකයන්ගේ වැටුප් ආදිය ගෙවීම මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, බලශක්තිය ආදී අත්‍යවශ්‍ය සේවා සඳහා මුදල් වෙන් කිරීමට අමතරව විවිධ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කිරීමට ද සිදුව තිබේ. ඊට අමතරව දේශීය හා විදේශීය වශයෙන් ලබා ගන්නා ණය සඳහා පොලිය හා වාරික ගෙවීම මෙහිදී තවත් එක් අංශයක් බවට පත්ව තිබේ. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් රාජ්‍ය ආදායමට සාපේක්ෂව රාජ්‍ය වියදම සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාව මූල්‍ය වශයෙන් විවිධ ගැටලු රැසකට මුහුණ දෙමින් සිටී. විශේෂයෙන්ම රටේ යුදමය වාතාවරණයක් නොපැවතිය ද ජාතික ආරක්ෂාව වෙනුවෙන් ද සැලකිය යුතු මුදලක් වෙන් කර තිබීම මෙහිදී විශේෂත්වයකි.

රජයේ වියදම් දැරීමට ආදායම ප්‍රමාණවත් නැත්නම් ණය ලබා ගැනීම සාමාන්‍යයකි. රජයේ වියදම් පියවා ගැනීමට රජයට ක්‍රියාමාර්ග කිහිපයක් ගත හැකිය. රජය අය කරන බදු ඉහළ දැමීම එක් ක්‍රියාමාර්ගයකි. බදු ඉහළ දැමීම ණය අඩු කිරීමට හේතු වෙයි. එසේම අය කරන බදු අඩු කිරීම ණය වැඩි කිරීමට හේතු වෙයි. බදු අනුපාතික ඉහළ දැමීම මහජනයා නුරුස්සන දෙයකි. එවැනි විටකදී ණය ලබා ගැනීම ඉහළ දැමීම කවුරුන් විසින් වුවද කළ යුතුය.

ආදායම් පහත වැටීම

රජයේ වියදම් පියවා ගැනීම සඳහා මෙතෙක් එකතු කළ වත්කම් විකිණීමෙන් ලැබෙන ආදායම යොදා ගැනීම තවත් ක්‍රියාමාර්ගයකි. රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා රාජ්‍ය වියදම් පියවා දැමීම අතීත රජයන් අනුගමනය කළ පිළිවෙතකි. ශ්‍රී ලංකාවේ 1991 සිට 2005 දක්වා පැවැති ආණ්ඩු, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයෙන් රජය සතු සම්පත් විශාල ප්‍රමාණයක් පෞද්ගලික අංශයට විකුණා මුදල් ලබාගෙන තිබේ. මෙවැනි ක්‍රියාමාර්ග වර්තමානයට ද පොදුය. මෙවැනි ක්‍රියාමාර්ගවලට විරුද්ධ වන විට රජයට සිදුවන්නේ වියදම් පියවා ගැනීමට ණය ලබා ගැනීම පමණි.

1948 වර්ෂයේ පටන් මේ දක්වා වර්ෂ දෙකක් (1954, 1955) හැර ඉතිරි සියලු වර්ෂ සඳහා ඉදිරිපත් කළ රජයේ සෑම අය වැයක්ම හිඟ අය වැයක් විය. මේ අනුව හිඟ අය වැය පියවා ගැනීම සඳහා ණය ලබාගැනීම සුලබ ලක්ෂණයක් වී ඇත. 2018 වර්ෂයේ රාජ්‍ය අයවැය හිඟයෙන් සියයට 95 ක්ම පියවා ඇත්තේ ණය ලබා ගැනීමෙනි. රාජ්‍ය අය වැය පියවීම සඳහා දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් හෝ පොලියක් සහිතව ආපසු ගෙවීමේ පොරොන්දුව මත ලබා ගත් අරමුදල් රාජ්‍ය ණය වශයෙන් සැලකේ.

නැඟී එන ආර්ථිකයක, විශේෂයෙන් ආර්ථික සංවර්ධනය සඳහාත්, ආර්ථිකයේ පැවැත්ම සඳහාත් අවශ්‍ය සම්පත් සිය රට තුළින්ම සපයා ගැනීම අපහසු කටයුත්තකි. මේ රටවල ඒක පුද්ගල ආදායම අඩු නිසාත්, සාපේක්ෂ වශයෙන් සම්පත් හිඟකම නිසාත් එම රටවලට අවශ්‍ය ආයෝජන සියල්ල තම රටේ ඉතිරි කිරීම්වලින් සපයා ගැනීමට අපහසුය. ආයෝජනය (සංවර්ධන කටයුතු සඳහා වියදම්) කිරීමට දේශීය හෝ විදේශීය වශයෙන් ඉතිරි කිරීම් අවශ්‍ය වේ. රටවල අවශ්‍යතා සඳහා ආයෝජනය ඉහළ දැමීම අවශ්‍ය දෙයකි. එහෙත් ඉහළ යන ආයෝජන මට්ටමට සරිලන ඉතිරි කිරීම් ප්‍රමාණවත් නොවනු ඇත. 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සමස්ත ආයෝජන ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 28.6ක් විය. එහෙත් දේශීය ඉතුරුම් අනුපාතිකය සියයට 21.2ක් විය.

මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව නිදහස ලැබූ 1948න් පසුව ගෙවී ගිය වර්ෂ 75ක කාලය ගත් විට විවිධ රජයන් විසින් දේශීය බැංකු මඟින් මෙන්ම විදෙස් රටවලින් සහ අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 50කට වැඩි ණය මුදලක් ලබාගෙන තිබේ. ඇතැම් ණය මුදල් ඉතාම සහනදායී පොලී පදනම යටතේ ලබාගෙන තිබෙන නමුත් ඇතැම් ණය ආධාර විශාල පොලියක් යටතේ ලබාගෙන තිබීම ශ්‍රී ලංකාව වැනි රටකට දැරිය නොහැකි තරම්ය. ඒ කෙසේ වුවද ශ්‍රී ලංකාව වැඩිම ණය ආධාර ලබාගෙන ඇති රටවල් අතර චීනය, ඉන්දියාව, ජපානය, බංග්ලාදේශය ඉදිරියෙන් පසුවෙයි. විශේෂයෙන් ම ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්දියාවෙන් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට ලැබුණු සහයෝගය මෙහිදී කෘතවේදීව සිහිපත් කළ යුතුය.

ලෝක විද්වතුන්ගේ දැක්ම

මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙන්ම ලබාගෙන තිබෙන විශාල ණය මුදල පියවීම පවතින ආණ්ඩුවට ඉතාම අපහසු කටයුත්තක් බවට පත්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගත් ලොව කීර්තිමත් විද්වතුන් 182 දෙනෙකු විසින් මෙරට ණය තත්ත්වය සහ එය පියවීමේ හැකියාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

අඩු හා මධ්‍යම ආදායම් ලබන ලොව අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේ දී පවතින බාහිර හා අභ්‍යන්තර සාධක හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයක සිටින බවට ඔවුන් පෙන්වා දී ඇත. රටේ මුදල් ඒකකය දැඩි ලෙස අවප්‍රමාණය වීම, ආහාර, ඉන්ධන හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන වියදම් ඉහළ යෑම, පොලී අනුපාත ඉහළ යෑම ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අර්බුදය තීව්‍ර වී තිබෙන බව පෙන්වා දී තිබේ. මේ අතර පෞද්ගලික ණය දෙන්නන් විසින් දියුණු රටවල් සඳහා අවම පොලියක් යටතේ ණය ලබා දුන්න ද අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා ඉහළ පොළියක් යටතේ ණය පහසුකම් ලබා දීම ද අර්බුදකාරී තත්ත්වයන් ඇති කරවන්නක් විය.

මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව නිදහසින් පසු විශාල වශයෙන් විදේශීය වශයෙන් ආධාර ලබාගෙන ඇත. විදේශාධාර යන්නට ආපසු ගෙවීමක් අවශ්‍ය නොවන ප්‍රදාන ද පොලියක් සහිතව යම් පරිණත කාලයක දී ගෙවා දැමිය යුතු ණය මුදල් ද යන දෙකම ඇතුළත් වේ. ශ්‍රී ලංකාව වර්තමානය දක්වා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපීය ආර්ථික ප්‍රජාව, කොළඹ ක්‍රමය, එක්සත් ජාතීන්ගේ විවිධ අරමුදල් ආදියෙන් බහුපාර්ශ්වීය ආධාරත්, මිත්‍ර රටවලින් ද්විපාර්ශ්වීය ආධාරත්, වාණිජ මට්ටමින් මූල්‍ය වෙළෙඳපොළෙන් මුදල් සපයා ගැනීමත් මඟින් විදේශීය අරමුදල් සම්පාදනය කරගෙන ඇත. මෙතෙක් ලබාගෙන ඇති පියවීමට ඇති සමස්ත විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,000ට ආසන්නය. මෙය ශ්‍රී ලංකාවේ දේශීය ආදායමෙන් සියයට 58.7කි.

ණය සහ බදු

විදේශීය ණය අඩු කරන අතරම දේශීය වශයෙන් ද ණය බර අඩු කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග රාශියකි. ණය ගැනීම සහ බදු ගෙවීම එකිනෙකට පරස්පරව කටයුතු කරයි. මේ නිසා දේශීය වශයෙන් ගත් කල ණය බර අඩු වීම සඳහා ඉහළ බදු බරක් දැරීමට අවශ්‍ය වේ. ඒ සඳහා ජනතාව අනුබල දෙන්නේ නම් ණය බර අඩු කරගත හැකිය. ණය බර ඉහළ බව කීමෙන් ණය බර අඩු වන්නේ නැත. ණය අඩු කිරීමට මහජනතාව බදු බර කරට ගත යුතුය. බදු ගෙවීම සුදුසු දෙයක් නොවන බවට පිළිගෙන බදු මඟහැරීම්වලින් වැළකිය යුතුය. ණය බර අඩු කිරීමේ ප්‍රධානතම විකල්පය එයයි. මේ සියලු ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය වන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමයි. ඉහළ ආදායමක් ලබන රටකට ණය බරක් නොවනු ඇත.

කෙසේ වුවද ද ගාඩියන් පුවත්පත වෙත ප්‍රකාශයක් කරන ජාත්‍යන්තර විද්වතුන් 182ක් පොලී අනුපාතයන් ඉහළ යෑම ද ශ්‍රී ලංකාවට දැරිය නොහැකි මට්ටමක පවතින බව පෙන්වා දී තිබෙන අතර, ඊට අමතරව ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එම ණය ලබා දුන් ණය හිමියන් විසින් අදාළ ණය ප්‍රමාණයන් අවලංගු කළ යුතු බව ද කියා සිටී. ඊට අමතරව ලොව පුරා විසිරී සිටින විද්වතුන් 182 දෙනෙකු විසින් අත්සන් කරන ලද ලිපිය මඟින් ඔවුන් කියා සිටින්නේ, රටේ විදේශ ණයවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික ණය හිමියන් සතු වන අතර, බොහෝ දුරට ඒවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ස්වරූපයෙන් පවතින බවයි. කෙසේ නමුත් ඉහළ පොලී අනුපාත හේතුවෙන් ඔවුන් ණය ගෙවීමෙන් අඩකට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්නා බවද ඔවුන් මෙහිදී පෙන්වා දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය සාකච්ඡා අද වන විට තීරණාත්මක අවධියක පවතින බව පෙන්වා දී තිබෙන අතර සියලුම ණය දෙන්නන්, ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ පුද්ගලික පාර්ශ්වයන් නුදුරේදීම අතිරේක මූල්‍යකරණය සහතික කිරීම සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යොමු විය යුතු බවද ශ්‍රී ලංකාවට තනිවම එය සහතික කළ නොහැකි බව ද පෙන්වා දී ඇත. ඒ සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය වන අතර, භූ දේශපාලනික වෙනසක් වෙනුවට, ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන් වත්මන් අර්බුදයෙන් මිදීමට මඟක් සැපයීම සඳහා ප්‍රමාණවත් ණය අවලංගු කිරීම සහතික කළ යුතු බවද ඔවුහු පෙන්වාදෙති.

එවැනි ණය දෙන්නන් ඔවුන්ගේ අවදානම් ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය දීමට අවදානම් වාරිකයක් අය කළ අතර එමඟින් ඔවුන් විශාල ලාභයක් උපයාගෙන තිබෙන බවද 2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ පළමු ණය පැහැර හැරීමට එය ද දායකවූ බව පෙන්වා දී ඇත. අවදානම් වාරිකය නිසා ඉහළ ප්‍රතිලාභ ලැබූ ණය දෙන්නන් එම අවදානමේ ප්‍රතිවිපාක ගැනීමට ද කැමැත්තෙන් සිටිය යුතු බව එම විද්වත්හු පෙන්වා දෙති. රටක් ලෙස ගත් විට ශ්‍රී ලාංකිකයන් හෝ ශ්‍රී ලංකා රජය විසින් කළ යුතු මේ කාර්යය ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන් පිරිසක් විසින් සිදු කර තිබීම සැබැවින්ම ප්‍රශංසනීයයි.

මෑත කාලය ගත් විට ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට විවිධාකාරයේ බලපෑම් එල්ල වූ අවස්ථාවක රටේ ණය බර අවම කිරීමේ අරමුණ ඇතිව විදෙස් ණය හිමියන් වෙත ප්‍රකාශයක් සිදු කර තිබීම පැසසිය යුතු කරුණකි. ලොව කීර්තිමත් ජාත්‍යන්තර විද්වතුන් පිරිසක් මෙම 182 අතර වෙති. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයටි ගෝෂ්, එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දානි රොද්‍රික්, ප්‍රංශයේ පැරිස් ආර්ථික විද්‍යා පාසලේ තෝමස් පිකටි, එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගැරී ඩිම්ස්කි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සහකාර මහලේකම් ජොමො ක්වමේ සුන්දරම් මහත්ම මහත්මීන් ඇතුළු විද්වතුන් පිරිසක් මෙම ලිපියට අත්සන් තබා ඇත.

හිතවාදීන්

මේ අතර ශ්‍රී ලාංකිකයන් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා, ස්වාධීන පර්යේෂක දරිනි රාජසිංහම් සේනානායක, ආසියා පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර කන්තා හිමිකම් ක්‍රියාකාරි ආයතනයේ විධායක අධ්‍යක්ෂ ප්‍රියන්ති ප්‍රනාන්දු, ශ්‍රී ලංකා තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන කස්තුරිරත්න සහ ස්වාධීන ආර්ථික විශේෂඥ ධනූෂ ගිහාන් පතිරණ, ඩයලොග් ඇඩ්වයිසර් ගෘෘප්හි අධ්‍යක්ෂ රාම් මානික්කලිංගම් යන මහත්ම මහත්මීන් ද තම රට වෙනුවෙන් මේ සඳහා අත්සන් කිරීම අගය කළ යුතුය.

අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන තත්ත්වය පිළිබඳ අලුතින් යමක් කිව යුතු නැත. ඒ කෙසේ නමුත් පවතින තත්ත්වයෙන් ඔබ්බට ගොස් අනාගත දරුවන් වෙනුවෙන් හෝ යහපත් රටක් නිර්මාණය කිරීම වගකිව යුතු පුරවැසියන් ලෙස අප සියල්ලෝම අද දවසේ කළ යුතු ය. එසේ නොමැතිව දේශපාලන වශයෙන්, ජාතීන් වශයෙන්, ආගම් වශයෙන් වාද විවාද කර ගනිමින් බෙදී වෙන් වී කටයුතු කරන්නේ නම් අනාගත පරපුර ද මෙවැනි දුක් කරදර ගොඩකට ඇද දමන තත්ත්වයක් නිර්මාණය වනු ඇත.

තත්ත්වය එසේ හෙයින් වගකිව යුත්තන් ලෙස සියලු පාර්ශ්වයන් මේ මොහොතේ යම් කිසි කැපකිරීමක් සිදු කර හෝ රටේ හෙට දවස වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුතුම ය. එවැනි අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ කිසිදු ඉල්ලීමකින් තොරව ශ්‍රී ලාංකික විද්වතුන් පිරිසක් ද ඇතුළුව ලොව කීර්තිමත් විද්වතුන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන ණය ආධාර අවලංගු කරන ලෙස ඒ ඒ ණය හිමියන්ගෙන් ඉල්ලා සිටීම ජාතියේ ගෞරවයට පාත්‍ර විය යුතු ය.

උපුටාගැනීම – දිනමිණ

Exit mobile version