Site icon Newshub

මැතිවරණය පමණක් ඉල්ලන්නේ රට ගැන හිතන්නේ නැති පක්ෂ –  මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

රටේ ආර්ථික තත්ත්වය තුළ කඩිනමින් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද එවැනි කඩිනම් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම රටේ ආර්ථිකයට කෙසේ බලපානු ලබනවාද යන්න ගැන මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා සමඟ කළ සංවාදයකි මේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබෙන කාලය වන්නේ ලබන මාර්තු මාසයයි, පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට මේ කාලය සුදුසු යැයි ඔබ හිතනවාද.?

රට ආර්ථික වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කර තාමත් අවුරුද්දක් ගෙවිලා නැහැ. මේ තත්ත්වය තුළ ණය ප්‍රතිව්‍යුහගත කර රට බංකොලොත් බවින් මුදා ගන්න ඕනෑ. ආර්ථිකය නිසි මඟට ගෙන ඒම සඳහා රජය නව වැඩපිළිවෙළක් සහ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. ඇත්තෙන්ම මේ මොහොතේ ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ රට බංකොලොත් බවින් මුදා ගැනීමේ වැඩපිළිවෙළටයි. එහෙත් ඇතැම් දේශපාලන පක්ෂ අතීතය සහ ආර්ථික අර්බුදය ජනතාවට අමතක කරවීමට උත්සාහ කරනවා. මේ වන විට ජනතාව විශාල පීඩනයකට මුහුණ දුන් ගෑස්, තෙල්, බෙහෙත් පෝලිම් නැහැ. නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම නිසා රට කෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා. මීට මාස කිහිපයකට පෙර තෙල් නැවක් ගෑස් නැවක් වරායට ආවොත් ඒක මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය වුණා. අද ඒ ගැන කතා කරන්නේ නැහැ.ඒකට හේතුව වෙලා තියෙන්නේ ඒ ගැටලු සැලකිය යුතු මට්ටමින් විසඳී තිබීමයි.

පසුගිය අවුරුද්ද අවසාන වන විට අපේ සංචාරක කර්මාන්තයද යම්මට්ටමක දියුණුවක් පෙන්නුම් කරනවා. දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් ලක්ෂ හතකට වැඩි පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාස කිහිපය තුළ සැලකිය යුතු මට්මමකින් ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙනවා.

මේ අතර සමහර දේශපාලන කණ්ඩායම් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට හඬ නඟනවා. එවැනි මැතිවරණයක් අවශ්‍යව තිබෙන්නෙ එම නායකයන්ට පමණයි. මේ ඉල්ලීම කරනු ලබන්නේ අවස්ථාවාදී දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක්. එහෙත් ඒ දේශපාලන පක්ෂ අවශ්‍යතාව සහ මහජනතාවගේ අවශ්‍යතාව කියන්නේ එකක් නොවෙයි දෙකක්. මහජනතාවට අවශ්‍යව තිබෙන්නේ මුහුණ දී තිබෙන ආර්ථික පීඩනයෙන් ගැලවීමටයි. මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට ලොකු ධනස්කන්ධයක් වියදම් වෙනවා. අපේ වගේ රටක දුර්වල ආර්ථිකයකට මේ මොහොතේ එය දරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. ඒ තත්ත්වය තුළ හදිසියේ මෙවැනි පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නේ ඇයිද යන්න සිහි බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකුට ගැටලුවක්.

ඔබ විශ්වාස කරන ආකාරයට යම් තරමකට හෝ රට යථා තත්ත්වයට පත්වෙන්න කෙතරම් කාලයක් ගත වෙයිද? එතෙක් පළාත් පාලන මැතිවරණය නොපැවැත්විය යුතු බවද?  

නැහැ නිසි වෙලාවට මැතිවරණය පැවැත්වීම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය. එසේ වුවද අප රට මුහුණ දී තිබෙන්නේ ඉතිහාසයේ දුෂ්කරම අවස්ථාවකට, අප මූලිකව ඒ ගැන කල්පනා කළ යුතුයි. කොවිඩ් වසංගතය අවස්ථාවේදී පාර්ලිමේන්තු මැතිවරණය මාස කිහිපයක් කල් දමා කෙටි කලකින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූවා. අප යෝජනා කරන්නේ ආර්ථික තත්ත්වය යම් ස්ථාවර තැනකට පත්වන තුරු පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙසයි. මාස කිහිපයක් කියන්නේ ඉවසා සිටිය නොහැකි තරම් කාලයක් නොවෙයි.

සියල්ලටම පෙර මැතිවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිටින දේශපාලන පක්ෂ කිහිපයක් සහ සංවිධාන කිහිපයක් පමණයි. විපක්ෂය සෑම අවස්ථාවකදීම උත්සාහ කරන්නෙ කෙසේ හෝ සියල්ල අවුල් කිරීමටයි. මාස කිහිපයකින් මැතිවරණයක් කල් දැමීම ලොකු දෙයක් නොවෙයි. පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේද නියමිත කාලයට පසුයි. දැනටමත් පළාත් සභා මැතිවරණය අවුරුදු පහක් පසුවෙලා තියෙන්නේ, එහෙත් පළාත් පාලන මැතිවරණය ගැන කතා කරන පිරිස් පළාත් සභා මැතිවරණය ගැන කතා කරන්නේ අඩුවෙන්.

පළාත් පාලන මැතිවරණය පවත්වනු ලබන ක්‍රමය නැවත වෙනස් කළ යුතු බවටත් නියෝජිතයන්ගේ ප්‍රමාණය නව දහස දක්වා වැඩි වීම අනවශ්‍ය වියදමක් බවත් අදහස් පළ වෙනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද.?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස බවට පත් වෙලා තිබෙන්නෙත් පළාත් පාලන මන්ත්‍රී ධූර ප්‍රමාණය අඩකින් අඩු කළ යුතු බවයි. එමඟින් සිදුවන ලොකු මුදල් නාස්තියක් වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. විපක්ෂය පැත්තෙන් නැඟෙන ලොකු චෝදනාවක් තමයි පාර්ලිමේන්තුවේ මැති ඇමැති දීමනා නිසා ලොකු නාස්තියක් සිදුවන බව. එහෙත් පළාත් පාලන නියෝජිතයන්ගේ වැඩි වීම නිසා සිදුවන මුදල් නාස්තිය ගැන විපක්ෂයේ අවධානය යොමුව තියෙන්නේ අඩුවෙන්.

ඒ නිසා ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් සභික ධූර ප්‍රමාණය අඩු කිරීමට සිදු කිරීමට කළ යෝජනාව ඉතාමත් වැදගත් යෝජනාවක් විදිහටයි මම දකින්නේ. ජනාධිපතිවරයාගේ යෝජනාව අනුව ක්‍රියාත්මක වුණොත් වසරකට රුපියල් ලක්ෂ හත්දහස් දෙසීයක මුදලක් අඩු කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අප මේ මැතිවරණ ක්‍රමයේ යම් වෙනසක් සිදු කළ යුතුයි.

ඔබ විශ්වාස කරන විදිහට පළාත් පාලන ආයතන ක්‍රමය තවදුරටත් වෙනස් විය යුත්තේ මොන ආකාරයටද.?

පළාත් පාලන ආයතනයකින් ප්‍රාදේශීය වශයෙන් ලොකු වැඩක් ඉටුවෙනවා. ඒනිසා පළාත් පාලන ආයතන ව්‍යුහය දීර්ඝ කාලීනව අක්‍රිය කිරීම නොකළ යුතු දෙයක් විදිහටයි මම සලකන්නේ, ඒ නිසා අනවශ්‍ය නාස්තිවලින් තොරව පළාත් පාලන මැතිවරණ ක්‍රමය වඩාත් ප්‍රතිඵලදායක විදිහට වෙනස් කරන්න පුළුවන්නම් තමයි වඩාත් සුදුසු. ඒ දේවල්ද සලකා බලා අපට පළාත් පාලන මැතිවරණයක් නිසි ලෙස පැවැත්විය හැකි, ඒ සඳහා කාලය හා මුදල් නිසි ලෙස යෙදිය හැකි අවස්ථාවේදි මැතිවරණය පැවැත්වීම තමයි කළ යුත්තේ.

එහෙත් ඔබ කියන අදහසට වඩා තියුණු ලෙස නැඟෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුය යන අදහසයි.?

දේශපාලන සහ ආර්ථිකය විද්‍යාව කියන්නේ එකක් නොවෙයි දෙකක්. අද විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ බොහොමයක් කටයුතු කරන්නේ ඉතාමත් අවස්ථාවාදී විදිහටයි. ඒ අයට රටේ ආර්ථික තියෙන තැන මොකක්ද කියල වැදගත් නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කෙසේ හෝ තමන්ගේ දේශපාලන අරමුණ වෙත ගමන් කිරීමයි. ඒත් නිහඬ බහුතරය සාමාන්‍ය මිනිස්සු, ඒ අය කියන දේවල් හිතන දේවල් පෙනෙන්නේ නැහැ.ජනතාවට මේ මොහොතේ අවශ්‍ය කරන්නේ තමන්ගේ ආර්ථික තත්ත්වය ගොඩනඟාගෙන තමන්ගේ ජීවන පැවැත්ම තහවුරු කර ගැනීමයි. ඒත් ඒ අදහස මතුවෙන්නේ අඩුවෙන්. අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් නිතරම උත්සාහ කරන්නේ බොරදියේ මාළු බෑම වගේ දේවල් කරමින් තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමයි. ඒත් දේශපාලනයට වඩා මේ වගේ කාලයක අප මූලිකව හිතන්න ඕනෑ රට සහ රටේ බිඳවැටුණ ආර්ථිකය නැවත ගොඩනඟන විදිහ ගැන. ඒත් කඩිමුඩියේ මැතිවරණයක් පැවැත්වීම තුළින් ආර්ථිකය ගොඩනැඟීමේ කාර්ය යම් ප්‍රමාණයකින් පස්සට යන්න පුළුවන්.

 

උපුටාගැනීම – දිනමිණ

Exit mobile version