Site icon Newshub

පවතින ආර්ථික අර්බුධ එක්ක මැතිවරණ තියන්න බැහැ

සිමිත කාලයකට ඡන්දෙ කල්දැමීම ප්‍රජාත්‍රන්ත්‍රවාදය හකුලාගැනීමක් නොවන බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව දිනමිණ පුවත්පත සමග සංවාදයකට එක්වෙමින්  ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා  මේබව පවසා ඇති අතර එම සංවාදය මෙසේය,

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසාන වෙමින් පවතින නිසා පළාත් පාලන මැතිවරණය සඳහා සූදානමක් පවතිනවා. මේ කාලය පළාත් පාලන මැතිවරණයක් සඳහා සුදුසු කාලයක්ද?

නිල වශයෙන් පළාත් පාලන මැතිවරණයක් සඳහා කාලය පැමිණ තිබෙනවා. මැතිවරණයක් කියන්නේ ප්‍රජාත්‍රන්ත්‍රනාදී ක්‍රියාදාමය තුළ අනිවාර්ය අංගයක්. ඒ නිසා ඡන්දයක් එපා කියලා කියන්න අපට බැහැ. ඒත් රට තුළ පැවති විවිධ අර්බුද සහ ගැටලු නිසා මීට පෙරත් පළාත් පාලන මැතිවරණ මාස හයක් අවුරුද්දක් වගේ කල් ගිය අවස්ථා තිබෙනවා.

මැතිවරණයක් පැවැත්වීම කොතෙක් දුරට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍ර වීමට හේතුවක්ද කියන එක සලකා බැලිය යුතුයි. අපේ රටේ පළාත් පාලන ආයතන අවුරුදු තිහකට වැඩි කාලයක් ක්‍රියාත්මක වුණා. ඒත් ඒ ආයතනවලින් සිදු විය යුතු නිසි සේවය නිසි විදිහට ඉටු වුණාද කියන කරුණ සලකා බැලිය යුතුයි. පළාත් පාලන ආයතනයකට ලොකු වැඩ ප්‍රමාණයක් ග්‍රාමීය මට්ටමින් නාගරික මට්ටමින් කරන්න පුළුවන්. ඒත්, ඒ දේවල් හරියට ඉටු නොවුන බවයි මගේ පුද්ගලික මතය වගේම සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක මතය. ආයතනයක නිල කාලය දිගු කරනවා නම්, ඒ ගැනත් අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතනයකින් නිසි විදිහට වැඩ කරන්නේ නැති නම් එවැනි ආයතනයක් පවත්වා ගෙන යායුතු ආකාරය ගැන වෙනම අධ්‍යයනය කළ යුතුයි.

ඔබ කියන්නේ පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දමා ආයතන නිල කාලය දිගු කරනවා නම් එය නිසි ක්‍රමවේදයකට අනුව කළ යුතු බවද?

ඔව්, කොමසාරිස්වරයකු යටතට ආයතන පත් කරනවා නම් හෝ නිල කාලය දිගු කරනවා නම් එය හිතුමතේ කිරීම නොකළ යුතුයි. ඉදිරි වසරක හෝ මාස හයක කාලය තුළට නිශ්චිත වැඩසටහනක් මඟ පෙන්වීමක් තියෙන්න ඕනෑ. මම නම් යෝජනා කරන්නේ එවැනි නිසි වැඩපිළිවෙළක් තුළ වැඩකටයුතු කළ යුතු බවයි. එමඟින් පළාත් පාලන ආයතනවල අරමුණු නිසි ආකාරයට ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ස්ථිරයි.

එහෙත් අද ඇති තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු වුවහොත් එහි පසුබිම ගැන ඔබේ විග්‍රහය පැහැදිලි කළ හැකිද?

නීතිය අනුව බැලූ බැල්මට මැතිවරණය පැවැත්විය යුතුයි.ඒක නීතියට අනුව හරි දෙයක්. ඒත් අපි රටේ තියෙන ප්‍රායෝගික තත්ත්වය ගැන සලකා බලන්න ඕනෑ අද රට තියෙන්නෙ ආර්ථික වශයෙන් හොඳ තත්ත්වයක නොවෙයි. ඒ නිසා මැතිවරණයක් පවත්වද්දි මූලිකව බලන්න ඕනෑ දෙයක් තියෙනවා. ඒ කරුණ තමයි අද රටේ ආර්ථික තත්ත්වය අනුව මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වටපිටාවක් ආර්ථික තත්ත්වයක් තියෙනවාද කියලා සොයා බැලිය යුතුයි. සාමාන්‍ය මැතිවරණයකට විශාල මුදලක් වියදම් වෙනවා. එහෙත් මේ මොහොතේ ඒවගේ මැතිවරණයකට වියදම් කරන්න මුදල් තියෙනවාද? ඒ මුදල් ප්‍රමාණය සොයා ගන්නේ කොහොමද? කියන එක ගැටලුවක්. දැන් තියෙන තත්ත්වය අනුව සල්ලි අච්චු ගහන්නත් බැහැ. මැතිවරණය නිසා දෛනිකව සිදු කරන රටේ වැඩ නවත්වන්නත් බැහැ. එනිසා මම පෙර සඳහන් කළා වගේ සීමිත කාලයක පළාත් පාලන මැතිවරණය කල් දමනවා නම් ආයතන විසුරුවා හැර කොමසාරිස්වරයකු යටතට පත් කරන්න පුළුවන්. මීට පෙරත් පළාත් පාලන මැතිවරණය කල් දැමූ අවස්ථාවල කොමසාරිස්වරු පත් කරනු ලැබ තියෙනවා. ඒ වගේම මැතිවරණය කල් දමනවා නම් පළාත් පාලන ආයතනවලට නිශ්චිත ඉලක්කයක් දෙන්න ඕනෑ ඉතිරි කාලය තුළ ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳව. එහෙම වුණොත් අඳුර මැද රිදී රේඛාවක් දැක ගැනීමට හැකියාව ලැබේවි.

ඔබ අදහස් කරන මැතිවරණය පැවැත්විය යුතු කාලය ලෙස ඔබ දකින්නේ කොයි කාලයද.?

මම කියන්නේ නැහැ අවුරුදු ගණන් මැතිවරණ කල් දමන්න කියලා. මගේ මූලික අදහස තමයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇත්තේම නැතිනම්, අයි.එම්.එෆ් ණය මුදල ලැබෙන තෙක්වත් මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතුය යන්න.

ඒත් සමහරුන්ට පෙනෙන්න පුළුවන් මෙය ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමක් කියලා.?

සාධාරණ හේතුවකට සීමිත කාලයකට මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමක් විදිහට හඳුන්වනවා නම් ඒක සුදුසු දෙයක් නොවෙයි. අප සෑම දෙයක් ගැනම මැදහත්ව කල්පනා කර අදහස් ප්‍රකාශ කිරීම තමයි වඩාත් හොඳ දේ වන්නේ.

  රජය යෝජනා කර තිබෙනවා මැතිවරණයකට අපේක්ෂකයකු වියදම් කළ යුතු මුදල සීමා කළ යුතු යෝජනාවක්, ඒ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද.?

මෙය ඉතාමත් හොඳ යෝජනාවක්, ඇත්තෙන්ම මේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතුව තිබුණෙ කලකට පෙරයි. ඒත් එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වී හෝ උනන්දු වීම ගැන සතුට පළ කළ යුතුයි.

 

Exit mobile version