Site icon Newshub

තවත් පොහොට්ටුවේ බල කණුවක අයවැය පරාදයි

කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත වැඩි ජන්ද 7 කින් පරාජයට පත් වී තිබෙනවා.

කුරුණෑගල මහ නගර සභාවේ රැස්වීම් ශාලාවේදී අද (20) පැවති විශේෂ මහ සභා රැස්වීමකදි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේය.

මෙය කුරුණෑගල මහ නගර සභාවේ පාලන කාලය අවසන් වීමට පෙර පොදුජන පෙරමුණේ පාලනය යටතේ ඉදිරිපත් කරන ලද අවසන් අයවැය කෙටුම්පත වීමද විශේෂත්වයකි.

අයවැයට පක්ෂව ජන්ද 7 ක්ද විපක්ෂව ජන්ද 14 ක්ද ලැබීම හේතුවෙන් අයවැය පරාජයට පත් විය.

කුරුණෑගල මහ නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් දෙදෙනෙකු වන හිටපු නගරාධිපතිවරයෙකු වන ගාමිණී පෙරමුණගේ සහ රජිත් ජයවර්ධන දෙදෙනා අයවැයට විරුද්ධව ජන්දය පාවිච්චි කළ අතර අයවැයට පක්ෂව නගරාධිපතිවරයා සමඟ නියෝජ්‍ය නගරාධිපති සුමිත් උඩවාසල සමඟ එම පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් වන බන්දු ජයසේකර, සමූද්‍රා බාලසූරිය , දම්මිත් අතුකෝරළ , අරුණි මහේෂිකා යන මන්ත්‍රීවරුන්ද , විපක්ෂයේ සිටින සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන ආර්. සෙල්වනායකී ජන්දය පාවිච්චි කළහ.

විපක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී අසාරුඩීන් මොයිනුදීන් සමඟ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ , වරුණ ප්‍රේමරත්න , සුමේධ අරුණශාන්ත , විශාඛා යටවර , බුද්ධික ඇල්ලේපොළ , ඩිලාන් ලිවේරා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සමන් කුමාර කරුණාසිංහ , බී.ඒ.සුසන්ත , සුගන්ධිකා සහ ජාතික ජනබලවේගය පක්ෂයේ රනුක සනංජය මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ජන්දය පාවිච්චි කළහ.

මෑත ඉතිහාසය තුළ කුරුණෑගල මහ නගර සභාවේ පාලන කටයුතු වලදී නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට සහාය දුන් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක්ම ඔහුට එරෙහිව ජන්දය පාවිච්චි කිරීමද විශේෂ කරුණකි.

හිටපු ජනපති ‌මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධානතම පළාත් පාලන ආයතනය වන කුරුණෑගල මහ නගර සභාවේ අයවැය පරාජයට පත්වීම විශේෂ කරුණක් වෙයි.

Exit mobile version