Site icon Newshub

කුසගින්නට පක්ෂ, පාට බේදයක් නෑ – ජනපති

කුසගින්නට පක්ෂ, පාට බේදයක් නොමැති බවත්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබලගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ බදුල්ල දිස්ත්‍රීක් වැඩසටහනට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

ආහාර සුරක්ෂිතා වැඩසටහන අපි ආරම්භ කළේ රටේ පොහොර සහ ඉන්ධන හිඟයක් මතුව තිබූ අවස්ථාවක. ඒ වගේම කිසිදු රටක් අපට ණය ලබා නොදෙන අවස්ථාවක.

2023 වසරේ දී ආහාර හිඟයක් ඇති වීමට ඉඩකඩ තිබෙනවා. ඊට මුහුණදීම සඳහා තමයි අපි ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කළේ. මෙම වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ සමාලෝචනයක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නැවත සිදුකරන්න කියලා මම යෝජනා කරනවා. මෙහිදී අලුත් දත්ත ලැබෙන්න පුළුවන්. ඒ අනුව අපි ආහාර සුරක්ෂිතතා වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙන යමු. මෙම වැඩසටහන 2023න් පසුව අවසන් වන්නේ නැහැ. අපි එය ඉදිරියටත් පවත්වාගෙන යනවා. ප්‍රාදේශීය සභාවල එක් එක් දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයන් ඉන්නවා. නමුත් අපි සියලුදෙනා එකතුවෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.

කෙසේ හෝ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික සපයා දීමට අපට හැකි වී තිබෙනවා. මෙවර මහ කන්නය සාර්ථකවීමත් සමඟ ඉදිරියේදී අපට සහල් අතිරික්තයක් ලැබෙනවා. එහිදී මතුවිය හැකි ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම ඇතුළු ගැටළු අප හඳුනාගෙන තිබෙනවා. එම ගැටලු විසඳීමටත් අපි කටයුතු කරනවා. ඒ අතරම වීවලට පාලන මිලක් නියම කිරීමටත් අපි පියවර ගන්නවා.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ සංචාරක කර්මාන්තය දියුණු කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කරනවා.

Exit mobile version