Site icon Newshub

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමක් නෑ – පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට යි මාධ්‍ය වාර්තා නිකුත් වී තිබුණේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් මෙලෙස අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර තිබුණා.

නමුත් ඊයේ පැවති පාර්ලිමේන්තු අයවැය විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු (DDC) පිහිටුවීමට සූදානම් බව යි.

ඒ හැර පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මෙම නිවේදනයේ සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය වන්නේ, ගනු ලබන විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වනු ඇති බව යි.

ඒ හරහා සංවර්ධන ක්‍රියාවලිය විධිමත් ව සිදු කිරීමට අවස්ථාව හිමි වන අතර, මූල්‍ය හානි හා ප්‍රමාදයන් ද වළක්වා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති.

Exit mobile version