Site icon Newshub

ලංකාව හිඟාකන රටක් බවට පත් කරන්නේ නෑ – ජනපති

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස අප ස්ව උත්සාහයෙන් නැඟීසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ(23) පැවති උත්සවය අමතමිනි.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තැබීමට හැකි සංකල්පයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර කළේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

ලලිත් ඇතුළත්මුදලි පදනම විසින් ශ්‍රී ලංකා තාරුණ්‍යයට ජාත්‍යන්තර වෙළෙඳපොළට ස්වාධීනව සම්බන්ධවීමේ පහසුකම ලබාදෙන ඩිජිටල් අවකාශයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණි.

ජන්ම දින සැමරුම ඇමතූ ලලිත් ඇතුලත්මුදලි පදනමේ සභාපති, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිහිපත් කර සිටියේ ලලිත් ඇතුලත් මුදලි මහතා ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය හඳුන්වා දුන් බවයි.

එතුමා ජීවත්ව සිටියා නම් එම ක්‍රමය තවත් විධිමත් කර ඉදිරියට ගෙන යනු ඇති බව සඳහන් කළ රවී කරුණානායක මහතා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දැයේ දරුවන්ගේ අධ්‍යාපන මං පෙත් විවර කළ බව ද පැවසීය.

මහපොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලැබූ දරුවන් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකර ඇති බව ද පෙන්වා දුන් ඒ මහතා අද විවෘත කළ ඩිජිටල් අවකාශය ද මහපොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලබාගත් සිසුන් විසින් නිර්මාණය කරනු ලැබූවක් බව ද සඳහන් කළේය

Exit mobile version