Home අද පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් යටතට

පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් යටතට

4032
0

නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පළාත් පාලන ආයතන 341න් 340ක බලය නාගරික කොමසාරිස්වරු සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන්ට අද (20) සිට පැවරේ.

ඒ අනුව මහා නගර සභා 29ක බලය නාගරික කොමසාරිස්වරුන්ට ද නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක බලය එම සභාවල ලේකම්වරුන්ටද ව්‍යවස්ථානුකූලව පැවරී තිබේ.

අද (20) සිට පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

සියලුම රජයේ දේපළ නැවත භාරදෙන ලෙස නිල කාලය අවසන් වූ සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට රජය ඊයේ නිල වශයෙන් දැනුම් දී ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

සියලුම පළාත් ආණ්ඩුකාරවරු කැඳවූ විෂය භාර ඇමැති, අගමැති දිනේෂ් ගුණවර්ධන මෙම මස 20 වනදායින් පසු ඒ ඒ පළාත් පාලන ආයතන, නාගරික කොමසාරිස්වරුන් හා පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ සහයෙන් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස පසුගිය දා (14) උපදෙස් දී තිබිණි. කෙසේ වෙතත් ප්‍රමාදවී පිහිටවනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය පමණක් තවදුරටත් පවතිනු ඇත. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පමණක් වෙනම ඡන්ද විමසීමක් පැවැත්වීම හේතුවෙන් එය ප්‍රමාද වී පිහිටුවනු ලැබිණ. එහි නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ඔක්තොම්බර් මාසයේදීය.

මේ අනුව පළාත් පාලන ආයතන නීතියට අනුව ඊයේ දිනට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් තෝරා පත් කර ගත යුතුව තිබිණ. එහෙත් ඡන්ද විමසීම ඒ දිනයට පෙර පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ අවසන් විය.

පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් සමාජයට විශාල සේවයක් සිදුවන අතර නිලධාරීන්ගෙන් එවැනි සේවයක් ඉටුකර ගැනීම අපහසුය. මහජන නියෝජිතයා නිරන්තරයෙන් ජනතාව සමඟ කටයුතු කරන අතර නිලධාරීන් රාජකාරි අවස්ථාවේ පමණක් රාජකාරි කටයුතු කරයි. කෙසේ වෙතත් ඒ අයගෙන්ද උපරිම සේවයක් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් පැවසුවේය.

Previous articleඩොලර් අර්බුදය අවසන් – IMF පළමු වාරිකය අඟහරුවාදා
Next articleතවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නෙමෙයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here