Home අද ට්‍රම්ප් සමඟ ගැටුම මැද : ඊලෝන් මස්ක් “ඇමරිකානු පක්ෂය” දියත් කරයි !

ට්‍රම්ප් සමඟ ගැටුම මැද : ඊලෝන් මස්ක් “ඇමරිකානු පක්ෂය” දියත් කරයි !

115
0

ලෝක ප්‍රකට ව්‍යවසායකයෙකු වන ටෙස්ලා සහ ස්පේස්එක්ස් (SpaceX) ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්, එක්සත් ජනපද දේශපාලනයට නව බලවේගයක් එක් කරමින්, “ඇමරිකානු පක්ෂය” (The American Party) නමින් නව දේශපාලන පක්ෂයක් නිල වශයෙන් දියත් කර ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

මෙම පියවර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මස්ක්ට ඇති වූ ප්‍රසිද්ධ මතභේදයකින් පසුව සිදුවීම විශේෂත්වයකි.

මස්ක්, පසුගිය දිනවල සිය X ගිණුම ඔස්සේ එක්සත් ජනපදයට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය දැයි ඇමරිකානුවන් වෙතින් විමසා තිබිණ.

මෙම මත විමසුමට ලැබුණු ප්‍රතිචාර අනුව, විශාල බහුතරයක් නව පක්ෂයකට සහය පළ කර තිබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඊලෝන් මස්ක් ඊයේ ( 05) සිය X ගිණුමේ මෙසේ සටහන් කළේය: “2 ට 1 ගුණයකින්, ඔබට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය වන අතර ඔබට එය ලැබෙනු ඇත!”

මෙම නිවේදනයෙන් පසුව, මස්ක් විසින් ‘ඇමරිකානු පක්ෂය’ නමින් නව දේශපාලන බලවේගය ආරම්භ කළ බව තහවුරු කළේය.

“අපේ රට නාස්තියෙන් හා දූෂණයෙන් බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ගත් කල, අප ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක නොව එක පක්ෂ ක්‍රමයක ය. අද, ඔබේ නිදහස ඔබට නැවත ලබා දීම සඳහා ඇමරිකානු පක්ෂය පිහිටුවා ඇත,” යනුවෙන් මස්ක් සිය X සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඔහුගේ ප්‍රකාශය අනුව, මෙම පක්ෂය අමෙරිකානුවන්ගේ යහපත් අනාගතයක් වෙනුවෙන් මෙන්ම, අහිමි වූ නිදහස නැවත ලබා දීම වෙනුවෙන් කැප වනු ඇත.

මෑතක් වන තුරුම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානම ආධාරකරුවෙකු ලෙස සිටි ඊලෝන් මස්ක්, ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා ඩොලර් මිලියන 250 කට අධික මුදලක් පරිත්‍යාග කර ඇති බවත්, ඔහුගේ මැතිවරණ රැලීවල නිරන්තරයෙන් දක්නට ලැබුණු බවත් වාර්තාවී තිබිණ .

කෙසේ වෙතත්, ට්‍රම්ප් රජය විසින් හඳුන්වා දුන් නව බදු පනතක් සම්බන්ධයෙන් ඇති වූ දැඩි මතභේදයක් හේතුවෙන් දෙදෙනා අතර සම්බන්ධතාවය පළුදු විය.

මස්ක් විසින් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළ අතර, ඊට සහය දුන් නීති සම්පාදකයින් ඉවත් කිරීම සඳහා මුදල් වියදම් කරන බවට පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

මාධ්‍ය වාර්තා වල දැක්වුණු ආකාරයට , මෙම ගැටුමේ උච්චතම අවස්ථාවේදී, ට්‍රම්ප් විසින් ඊලෝන් මස්ක්ගේ සමාගම්වලට ෆෙඩරල් රජයෙන් ලැබෙන ඩොලර් බිලියන ගණනක සහනාධාර කපා හරින බවට තර්ජනය කර තිබිණ.

එපමණක් නොව, මස්ක්ගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට පවා ට්‍රම්ප් සූදානමින් සිටින බවටද මින් පෙර වාර්තා විය.

කෙසේවෙතත් මස්ක්ගේ නව පක්ෂය එක්සත් ජනපදයෙහි විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න පිළිබඳව මෙතෙක් නිල වාර්තාවක් ලැබී නොමැත.

එසේම, එක්සත් ජනපදයෙන් පිටත උපත ලැබූ පුරවැසියෙකු වන බැවින්, ඊලෝන් මස්ක්ට එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරග කිරීමට නීතිමය සුදුසුකම් ද නොමැත. කෙසේ වෙතත්, ඔහුගේ බලගතු සමාජ මාධ්‍ය පැවැත්ම සහ මූල්‍ය සම්පත් හේතුවෙන්, මෙම නව පක්ෂය මගින් එක්සත් ජනපද දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ඇතැමුන් මේ වන විටත් කනස්සල්ල පළ කර ඇත්තේ, මස්ක් සහ ට්‍රම්ප් අතර පවතින මෙම ගැටුම 2026 මධ්‍යකාලීන කොංග්‍රස් මැතිවරණයේදී ඔවුන්ගේ බහුතරය ආරක්ෂා කර ගැනීමේ අවස්ථාවට හානි විය හැකි බවටයි.

Previous articleවිපක්ෂයෙන් කන්ටේනර් 323 ගැන නීති මාර්ගයට!
Next articleජයවර්ධනපුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි – හිඟයක් තිබ්බත් පිටින් ප්‍රතිකාර අයිතම නිර්දේශ නොකිරීමේ ප්‍රතිපත්තියක්?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here