ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නට එරෙහිව පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවට සහභාගී වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරිනියකට තමා මරණ තර්ජන කළ බවට එල්ල වූ චෝදනා, විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ දියණිය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
ඇය කුරුඳුවත්ත පොලිසියට නීතිඥයකු හරහා පැමිණිල්ලක් කරමින් කියා සිටින්නේ, තමන් බරපතල කම්පනයක සිටි නිසා “මම මැරෙනවා” කියා පැවසූ දෙය වරදවා වටහාගෙන හෝ ද්වේෂ සහගතව තමන්ට එරෙහිව මෙම පැමිණිල්ල කර ඇති බවයි.
කෙසේවෙතත් මෙම සිදුවීම්දාමය, මවගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු දැඩි මානසික පීඩනයකින් පෙළෙන මෙම තරුණියගේ අසරණභාවය ඇතුලු තවත් අතිශය සංවේදීවූත් බරපතල ප්‍රශ්නකාරීවූත් කරුණු ගණනාවක් විධාරණය කර දක්වයි.
ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන 21 හැවිරිදි මෙම තරුණිය, සිය මව අත්අඩංගුවට පත් වූ මොහොතේ සිටම නීතියේ පිහිට පතමින් තනිවම වෙහෙසෙමින් සිටියි. ඇයට රැකවරණයට සිට ඇත්තේ ඇගේ මව පමණි.
මීට පෙරද, ඇය සිය මව බැලීමට බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී “හොරෙක් බලන්න එන්න එපා” යැයි බන්ධනාගාර නිලධාරීන්ගෙන් අපහාසත්මක ප්‍රකාශ පවා අසා තිබෙන බවටද වාර්තා පළවී තිබේ.
දෙමව්පියන් අත්අඩංගුවට පත්වීමෙන් පසු දරුවන්ගේ මානසික තත්ත්වය අතිශයින් ව්‍යාකූල වන අතර, ඔවුන් අන්ත අසරණ තත්ත්වයකට පත්විය හැකිය. එය අතිසංවේදී සත්‍යකි.
මෙවැනි තත්ත්වයක් තුළ, මාධ්‍ය සහ අනෙකුත් පාර්ශව විසින් ඇයව තවදුරටත් අනවශ්‍ය ලෙස පීඩාවට පත් කිරීමෙන්, ඇය බරපතල මානසික ගැටලුවලට මුහුණ දීමේ අවදානමක් පවතින බව ඉතා පැහැදිලිය.
මේ වන විටත් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නට එරෙහිව චෝදනා වී ඇත්තේ ස්නායු ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇයට හිතවත් ආයතනයකින් ලබා ගැනීමට නිර්දේශ කිරීමෙන් රෝගීන්ට පාඩුවක් සිදුකළ බවටත්, මුදල් ලබා ගැනීමේ අරමුණින් මියගිය රෝගීන්ට සැත්කම් කළ බවටත් ය. මෙම නඩුව මේ වන විටත් සමාජය තුළ විශාල ආන්දෝලනයක් නිර්මාණය කර ඇති අතර, ඒ පිළිබඳව ඉහළ සංවේදීතාවයක් පවතී.
වෛද්‍ය මහේෂි අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහල තුළ සහ සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රය තුළම දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
වෛද්‍ය මහේෂි අත්අඩංගුවට ගත් දින ඇය විසින් සැත්කමක් සිදුකළ රෝගියෙකු ජූනි 22 දා මිය ගිය අතර, ඇය සේවය කළ ස්නායු වාට්ටුව තාවකාලිකව වසා දමා රෝගීන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමැතිව ශල්‍යකර්ම කළ නොහැකි බව පවසමින් විශේෂඥ වෛද්‍ය (Consultant Orthopedic Surgeon) කෞෂල්‍යා කරුණාරත්න ගේ ඉල්ලා අස්වීම මෙහි බරපතලකම පෙන්නුම් කරයි.
වෛද්‍යවරුන් බාහිරින් ඖෂධ නියම කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ තමන්ටත් නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවේ යැයි යන බිය හේතුවෙනි.
මෙම තත්ත්වය හේතුවෙන් රෝහල්වල පවතින බෙහෙත් හිඟය සහ වෛද්‍යවරුන්ගේ බිය නිසා වඩාත්ම අසාධාරණය සිදුවන්නේ රෝගීන්ටය.
මේ අතර වෛද්‍ය මහේෂිගේ සිද්ධිය, මීට පෙර සාෆි වෛද්‍යවරයාගේ සිද්ධියට සමාන අයුරින්ම සමාජය තුළ ආන්දෝලනයක් ඇති කරමින් තිබේ. මෙහිදී, නඩු විභාගයකින් තොරවම පුද්ගලයන්ව “හොරෙක්” ලෙස සමාජගත කිරීමට දරන උත්සාහයන්, වෘත්තිකයන්ගේ ගෞරවයට හා කීර්තිනාමයට හානි පමුණුවයි.
අනෙක් අතට මෙම සිද්ධිය පිටුපස ඉන්දීය ඖෂධ මාෆියාවේ බලපෑමක් ඇති බවටද බරපතල සැක පහළ වී ඇත. ලංකාවේ භාවිත කරන ඖෂධවලින් 80%ක් පමණ ඉන්දීය ඖෂධ වන අතර, ඉතිරි 20%ද ඔවුන්ගේ වෙළෙඳපොළට අත්පත් කර ගැනීම ඉන්දීය අරමුණ වී ඇතැයි පැවසේ. වෛද්‍ය මහේෂි වැනි බටහිර අධ්‍යාපනය ලබූ, උසස් තත්ත්වයේ වෛද්‍ය උපකරණ හා ඖෂධ නිර්දේශ කරන වෛද්‍යවරුන්ව ඉවත් කිරීමට උත්සාහ දරන බවටද මතයක් ප්‍රබලව මතුව තිබේ. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සිද්ධියෙන් පසුවද ප්‍රශ්නගත ඉන්දීය ඖෂධයේ නිවැරදිභාවය ඉතාම අපැහැදිලි ලෙස රජය විසින් තහවුරු කිරීම, මෙම චෝදනාවලට ඉන්ධන සපයයි. තවත් වැදගත් කරුණක් නම් ඉන්දියාව සමඟ ඇතිකරගත් ගිවිසුම්ද ලංකා ආණ්ඩුව සඟවාගෙන සිටීමයි.
මෙම අත්තනෝමතික ක්‍රියා හේතුවෙන්, ලංකාවේ උගත් හා දක්ෂ වෛද්‍යවරුන් රටින් පිටව යාමට පෙළඹෙනු ඇති බවටද අවධානම් අනාවැකි පළ වෙමින් ඇත.
දැනටමත් හෙදියන් හා වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර ගොස් තිබෙන බව නොරහසකි. මෙය දිගටම සිදුවුවහොත්, ඉන්දීය විශ්වවිද්‍යාලවලින් බිහි වූ වෛද්‍යවරුන් ලංකාවේ සේවයට කැඳවීමට රජය කටයුතු කරනු ඇතැයි ද සැකසංකා පහළව තිබේ.
KDU (කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය) වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව පිටුපසද මෙවැනිම සැඟවුණු අරමුණක් තිබූ බවට තර්ක ඉදිරිපත්ව තිබීමත් නොතකා හැරිය නොහැක.
මේ වන විටත් බොහෝ ආයතන කෙරෙහි ජනතාව තුළ විශ්වාසය පිළිබඳ ප්‍රශ්න මතු වන පසුබිමක, අධිකරණය පමණක් ජනතාවට විශ්වාසය තැබිය හැකි එකම ආයතනය ලෙස පවතී. ඒ සමඟ වෛද්‍ය මහේෂිගේ සිද්ධිය, ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවය මුහුණ දෙන ගැඹුරු අර්බුදයක් මතුපිටට ගෙන විත් තිබේ.
රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කැපවන වෛද්‍යවරුන්ට බියකින් තොරව තම වෘත්තීය කටයුතු කරගෙන යාමට හැකි පරිසරයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. එසේම, නීතිය ක්‍රියාත්මක කිරීමේදී මානුෂීය පැතිකඩද සැලකිල්ලට ගත යුතු අතර, විශේෂයෙන්ම සිදුවීම්වලින් පීඩාවට පත්වන දරුවන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව සංවේදී විය යුතුව ඇත.
එසේම මෙම සිද්ධිය, ග්ලැඩිස් ජයවර්ධන වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සමාන කරන අදහස් ද පවතී. එම දෙදෙනාම සමාන පවුල් පසුබිම්වලින් පැමිණි, වෛද්‍ය අංශවල ඉහළ අධ්‍යාපනයක් ලැබූ කාන්තාවන් වීම මෙම සමාන කිරීමට හේතුවයි.
අවසාන වශයෙන්, වෛද්‍ය මහේෂිගේ සිද්ධිය, ආණ්ඩුවට මුහුණ දීමට ඇති බරපතල “භූමරංගයක්” බවට පත්වන ස්වරූපයක් පෙන්නුම් කරයි. එය කාලය සම්බන්ධ ප්‍රශ්නයක් මිස විය නොහැක්කක් නොවන බව ආණ්ඩුව නැණ පමණින් විමසා බලාගනු වටියි.
– විශේෂ ලියුම්කරුවකු විසිනි