Home අද තීරුබදු අනුපාත දන්වා – ට්‍රම්ප් ලිපි යැවීම අරඹයි : ජනාධිපති අනුර මැතිවරණ...

තීරුබදු අනුපාත දන්වා – ට්‍රම්ප් ලිපි යැවීම අරඹයි : ජනාධිපති අනුර මැතිවරණ වේදිකාවේ කියූ සුබාරංචිය ලැබෙයිද ?

143
0

අමෙරිකාව සිය රටට එක් එක් රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අයකරන තීරුබදු අනුපාත සඳහන් කරමින් එම රටවලට ලිපි යැවීම අද (4) සිට ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම ට්‍රම්ප් පරිපාලනය තීරුබදු ක්‍රියාත්මක කිරීමේ අවසන් දිනය කල් දැමීම පිළිබඳව යළි කිසිදු සලකා බැලීමක් නොකරන බවට ප්‍රකාශ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් ය.

වාර්තා වන අන්දමට, ට්‍රම් පාලනය සිය වෙළඳ හවුල්කරුවන්ට “ගන්නවාද නැත්නම් අතහරිනවාද” යනුවෙන් සඳහන් ලිපි යැවීමට සූදානමක පසුවෙයි.

මේ සමඟ ශ්‍රී ලංකාවට පැනවීමට සූදානම් වන තීරුබදු (tariffs) සම්බන්ධව මෙතක් අනාවරණයවී නොමැති අතර යම් ආකාරයක ඉහල තීරුබදු පැනවීමක් සිදුවුවහොත් මෙරට ආර්ථිකය දැඩි අවදානමකට මුහුණ පා සිටියි.

මෙකී තීරුබදු පැනවීමට අදාළව ට්‍රම්ප් පාලනය විසින් පළමු වර සිදුකර තිබූ නිවේදනය අනුව ලංකාවට පැනවීමට නියමිත තීරුබදු “44%ක් තරම් ඉහළ මට්ටමක පවතින බව තොරතුරු වාර්තා වී තිබිණ. ඒ දැනටමත් පවතින 10%ක මූලික බද්ද ද ඇතුළත්වය.

ඒ ආකාරයටම මෙම තීරුබදු ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කර්මාන්තයක් වන ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ට්‍රම්ප් පාලනය විසින් සිදුකෙරෙන දැනුම්දීම් හිදී 20-30% අතර තීරුබදු අනුපාතයන් අන්තර්ගත වනු ඇති බවයි. ඒ බව අදහස් දක්වන ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ එවැනි අගයක් වුවද මෙරට ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල කෙරෙණු ඇති බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය මෙම තීරුබදු පැනවීම නිවේදනය කර කාලයකට පසුව ඒ සම්බන්ධව වැඩිදුරටත් සාකච්ජා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානයක සිය නියෝජිත පිරිසක් එරටට යවනු ලැබීය.

අනතුරුව පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසා සිටියේ ඇමරිකාවෙන් සුබාරංචියක් ලද බවයි.

කෙසේවෙතත් පසුව අනාවරණය වූයේ ශ්‍රීලංකාව තවදුරටත් ඇමරිකානු බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පසුගියදා පවසා සිටියේ ආසියානු කලාපයේ, ට්‍රම්ප්ගේ තීරුබදු සංශෝධනය කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන එකම රට ශ්‍රී ලංකාව බවයි.

නමුත් මෙම සාකච්ජාවල වත්මන් තත්ත්වය හෝ ප්‍රගතිය සම්බන්ධව නිල නිවේදනයක් දැන ගන්නට නැත.

ඒ පසුබිමේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මේ වන විටත් අනතුරු අඟවා ඇත්තේ, අධික තීරුබදු පැනවීමක් සිදුවුවහොත් එයින් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 1.5%කින් පමණ පහත වැටිය හැකි බවයි.

විශේෂයෙන්ම, ඇඟලුම් අපනයන වලින් වාර්ෂිකව ඩොලර් මිලියන 600ක පමණ ප්‍රමාණයක් අහිමි විය හැකි බව ඇඟලුම් කර්මාන්තය ගණන් බලා ඇත.

ඒ අනුව ඉන්දියාව, බංග්ලාදේශය සහ නැගෙනහිර ආසියානු රටවල් වැනි තරගකරුවන්ට සාපේක්ෂව අවාසිදායක තත්ත්වයකට පත් නොවීමට නම්, ශ්‍රී ලංකාවට තීරුබදු අනුපාතය අඩු කර ගැනීම අත්‍යවශ්‍යව පවතී.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ, මෙම තීරුබදු අර්බුදය ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික ස්ථාවරත්වය සහ අපනයන අංශයේ අනාගතය කෙරෙහි දැඩි අවදානමක් මතු කර ඇති බැවින්, ජූලි 9 වන දිනට පෙර ලැබෙන ප්‍රතිචාරය රටට තීරණාත්මක වනු ඇති බවයි

Previous articleකතානායක ජගත් වික්‍රමරත්නට 2023 දූෂණ විරෝධි පනත යටතේ දූෂණ චෝදනාවක් !
Next articleකදුරුවෙල කාති අධිකරණයේ විනිසුරුට වැඩ වරදියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here