සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් සැකකරුවන් හෝ සාක්ෂිකරුවන් පොලිසියට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
2025 ජූලි 2 වනදා මෙම චක්‍රලේඛය නිකුත්කර තිබෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් පළ කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට කැඳවීමක් නිකුත් කිරීමට එරෙහිව විදුර රළපනාව මහතා විසින් ගොනු කරන ලද SC (FR) 266/2023 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ය.
නව චක්‍රලේඛය මඟින් වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර ඇත්තේ, සැකකරුවන් හෝ සාක්ෂිකරුවන් පොලිසියට කැඳවීමේදී ඔවුන්ට ප්‍රමාණවත් තොරතුරු ලබා දිය යුතු බවයි. එනම්, ඔවුන්ව කැඳවීමට හේතුව, කුමන සිද්ධියක් හෝ විමර්ශනයක් සම්බන්ධයෙන්ද යන්න මෙන්ම, ඔවුන් පැමිණිය යුත්තේ කුමන අරමුණක් සඳහාද යන්න පැහැදිලිව දැනුම් දිය යුතු වේ.
තවද, වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත්කළ මෙම චක්‍රලේඛය මඟින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 සහ 110 හි අදාළ විධිවිධාන වෙත ද පොලිස් නිලධාරින්ගේ ආධානයට යොමුකර තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු පවසා සිටියේ නව චක්‍රලේඛය මඟින් කිසිදු අපරාධයක් සිදුවී නොමැති අවස්ථාවක හෝ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව පුරවැසියන් කැඳවීම හෝ රඳවා තබා ගැනීම නීති විරෝධී බවට මෙමගින් (වක්‍රව) අවධාරණය කර ඇති බවයි.
මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ පොලිස් බලතල නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකි බවත් එවැන්නක් වෙනුවෙන් සිදුකර ඇති පුරවැසි මැදිහත්වීම අගය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා අවධානය යොමුකරවමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත්කළ අදාළ නිවේදනය පහත දැක්වෙයි .