ටිබෙට් බෞද්ධ ආධ්‍යාත්මික නායක දලයි ලාමා, තම මරණයෙන් පසු සිය පදවිය සඳහා අනුප්‍රාප්තිකයෙකු සිටින බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊට අනුව මේ වන විටත් චීන පාලනයෙන් පිටුවහල්ව උතුරු ඉන්දියාවේ ධරම්සාලාහි වෙසෙන දලයි ලාමා එහි සිට මේ නිවේදනය සිදුකර තිබේ.
මෙහිදි දලයි ලාමා පවසා ඇත්තේ, ඔහුගේ අනාගත පුනරුත්පත්තිය හඳුනා ගැනීමට බලය ඇත්තේ ඔහු විසින් ආරම්භ කරන ලද ගඩන් ෆොඩ්‍රැන්ග් භාරයට (Gaden Phodrang Trust) පමණක් බව ය. ටිබෙටය පාලනය කිරීමේ උත්සහයේ කොටසක් ලෙස (1950 දී ඈඳා ගත්) චීනය තමන්ගේ ම අපේක්ෂකයෙකු පත්කිරීමට උත්සහ කළ හැකි බවට පැවති මතවාදවලින් පසුව මෙම ප්‍රකාශය සිදු විය.
ටිබෙට් බෞද්ධයන් විශ්වාස කරන්නේ, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පුනරුත්පත්තිය ලබා ඇති බවත්, තමන් තෝරා ගන්නා තැනැත්තා තම පූර්වගාමියාගේ ආත්මය ඇති බව ඒත්තු ගැන්වුවහොත් බෞද්ධ නායකයින් විසින් ඔහු දලයි ලාමා ලෙස තෝරා ගන්නා බවත් ය.
කෙසේවෙතත් දලයි ලාමා තම මරණයෙන් පසු සිය පදවිය සඳහා අනුප්‍රාප්තිකයෙකු සිටින බවට කළ ප්‍රකාශයට චීනය දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇත.
චීනය අවධාරණය කරන්නේ, දලයි ලාමාගේ පුනරුත්පත්තිය තෝරා ගැනීමේ බලය ඇත්තේ චීන රජයට පමණක් බවයි. චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, දලයි ලාමා, පන්චෙන් ලාමා සහ අනෙකුත් ප්‍රධාන බෞද්ධ නායකයන්ගේ පුනරුත්පත්තිය තෝරා ගැනීම “එය සිදුකෙරෙන ඓතිහාසික ක්‍රමවේදය අනුව සිදුවිය යුතු බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ අනුමැතිය අත්‍යවශ්‍ය බවත්ය.
චීනය දිගින් දිගටම අවධාරණය කරන්නේ තමන් ආගමික නිදහස ක්‍රියාත්මක කරන නමුත්, එය ජාතික නීති සහ රෙගුලාසිවලට අනුකූල විය යුතු බවයි.
දලයි ලාමාගේ ප්‍රකාශය චීනය “රාජ්‍ය පාලනය යටතේ” තිබිය යුතු පුනරුත්පත්ති ක්‍රියාවලියට මැදිහත් වීමට දරන උත්සාහයක් ලෙස ඔවුන් සලකයි.
මේ නිසා, අනාගතයේදී එකිනෙකට ප්‍රතිවාදී දලයි ලාමාවරුන් දෙදෙනෙකු බිහිවීමේ හැකියාවක් පවතින බවට මතයක් පවතී: එක් අයෙකු චීන රජය විසින් පත් කරනු ලබන අතර, අනෙකා වත්මන් දලයි ලාමාට පක්ෂපාතී ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා සහ ටිබෙට් බෞද්ධ ප්‍රජාව විසින් පිළිගනු ලබනු ඇත.