ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදාත්මක ඩොලර් ට්‍රිලියන 5ක “Big Beautiful Bill” නමින් හැඳින්වෙන පනත් කෙටුම්පත එක්සත් ජනපද සෙනෙට් සභාවේදී සම්මත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එකී වාර්තා වල දැක්වෙන ආකාරයට 51-50 ක් ලෙස, උප ජනාධිපති ජේ.ඩී. වෙන්ස් (JD Vance) ගේ තීරණාත්මක ඡන්දයත් සමඟින් මෙය සම්මත වීමත් සමඟ, ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධානී ඊලෝන් මස්ක් (Elon Musk) කලින් කළ ප්‍රකාශයක් කෙරෙහි බොහෝ දෙනෙකුගේ නැවතත් අවධානයට ලක්ව ඇත. ඒ ඊලෝන් මස්ක්ගේ ‘America Party’ තර්ජනය හේතුවෙනි.
ට්‍රම්ප්ගේ පනත් කෙටුම්පත සෙනෙට් සභාවේ ඡන්ද විමසීමට පෙර, මස්ක් අවධාරණය කළේ මෙම “නොසැලකිලිමත්” වියදම් පනත සම්මත වුවහොත්, ඊළඟ දවසේම තමන් “America Party” නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බවයි.
සාම්ප්‍රදායික පක්ෂ දෙකටම විකල්පයක් ලෙස, එක්සත් ජනපදයේ දේශපාලනයේ “මැද සිටින 80% ක්” නියෝජනය කරන වේදිකාවක් නිර්මාණය කිරීම ඔහුගේ අරමුණ බවද එහිදී නිරීක්ෂණය විය. ඒ සමඟ මස්ක්, ට්‍රම්ප්ගේ පනත “ණය ගැති වහල්භාවයක්” ලෙසද දැඩිව විවේචනය කර තිබිණ.
මස්ක්ගේ මෙම ප්‍රකාශයන්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ක්ෂණිකව හා දැඩි ප්‍රතිචාරයක් ලැබී තිබිණ. එහිදී ට්‍රම්ප් චෝදනා කළේ මස්ක්ට රජයෙන් ඉතිහාසයේ වැඩිම අනුග්‍රාහක මුදල් (subsidies) ලැබෙන බවත්, එම මුදල් නොමැතිව ටෙස්ලා වැනි සමාගම් වසා දැමීමට සිදුවනු ඇති බවත්ය.
එපමණක් නොව, ට්‍රම්ප් අතීතයේ තමන් නායකත්වය දුන් “Department of Government Efficiency (DOGE)” නැවත ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ඉඟි කරමින් තර්ජනය කර ඇත. ඔහු පවසා ඇත්තේ “DOGE යනු ඊලෝන්ව කන්නට ආපසු යාමට සිදුවන රාක්ෂයා” ලෙසයි. මෙයින් අදහස් කර තිබෙනුයේ , රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (DOGE) නැවත ක්‍රියාත්මක වුවහොත්, මස්ක්ගේ සමාගම්වලට ලැබෙන රජයේ අනුග්‍රාහක මුදල් සහ කොන්ත්‍රාත්තු පිළිබඳව දැඩි විමර්ශනයක් සිදු කරනු ඇති බවත්, එය මස්ක්ගේ ව්‍යාපාරවලට ආර්ථික වශයෙන් දැඩි හානියක් සිදු කරනු ඇති බවත්ය.
ට්‍රම්ප් තවදුරටත් අවධාරණය කළේ මස්ක් ඩිමොක්‍රටික් පක්ෂයට හෝ ට්‍රම්ප්ට විරුද්ධ පක්ෂවලට සහාය දුනහොත්, ඔහුට “බරපතල ප්‍රතිවිපාක” වලට මුහුණ දීමට සිදුවන බවයි. එක් අවස්ථාවකදී, මස්ක්ව එක්සත් ජනපදයෙන් පිටුවහල් කිරීම සලකා බලන්නේද යන්න පිළිබඳව නැඟුණු පැනයකටද ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ “එය බලන්නට සිදුවන බව” යි.
කෙසේවෙතත් සෙනෙට් සභාවෙන් සම්මත වූ මෙම පනත ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය සඳහා වන ප්‍රධාන ප්‍රතිපත්ති ගණනාවක් ඇතුළත්ව තිබේ. ඒ බොහොමයක් ට්‍රම්ප්ගේ පෙර ධූර සමයේදී හඳුන්වා දුන් බදු කප්පාදු දීර්ඝ කිරීම, දේශසීමා ආරක්ෂාව සඳහා වැඩි වියදම් සහ ඇතැම් සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා කප්පාදු කිරීම්ද ඇතුළත් බව සඳහන් ය. මෙමගින් ඉදිරි දශකය තුළ අයවැය හිඟයට ඩොලර් ට්‍රිලියන 3.3ක් පමණ එකතු වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
කෙසේ වෙතත්, මෙම පනත තවමත් නීතියක් බවට පත්වී නැත. එය මේ වන විට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives) වෙත යොමු කර තිබෙන අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සෙනෙට් සභා තේරීම අනුමත කළ යුතුව තිබේ. එසේ නොමැති නම්, ඔවුන්ගේම වෙනස්කම් සිදු කළහොත් නැවත සෙනෙට් සභාවේ අනුමැතිය අවශ්‍ය වනු ඇත