ඇමරිකාව පැනවූ තීරු බදු පිළිබඳ එරට සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත් වූ එකම රට ලංකාව බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.
එම ප්‍රශ්නය පැන නැඟුණු විට විපක්ෂය ආණ්ඩුවට දොස් තබමින් විශාල බිල්ලෙක් මැවූ බවට ද ඔහු චෝදනා කරයි.
ආණ්ඩු පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක පැවති සංවාදශීලී දේශපාලන වැඩසටහනකදී අදහස් දක්වමිනි.
තම ආණ්ඩු යටතේ කෙතරම් අර්බුදකාරී ලෙස කටයුතු කළත් බලය අහිමි වූ විට උපදෙස් ලබා දීම සඳහා විශාල උනන්දුවකින් පිරිසක් රටේ සිටින බව ද මන්ත‍්‍රීවරයා එහිදී සඳහන් කළේය.
කෙසේ වුව ද තව දුරටත් එම ගැටලුව අවසන් නොමැති බවත් ආණ්ඩුව තවමත් එම සාකච්ඡා සිදුකරන බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
කෙසේවෙතත් මූලික තොරතුරු පරිශීලනයේදී මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සාවද්‍ය බව තහවුරු වෙයි.
ඇමරිකා එක්සත් ජනපදය, විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන සමයේදී පනවන ලද තීරු බදු සම්බන්ධයෙන් බොහෝ රටවල් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව එම සාකච්ඡා පැවැත්වූ එකම රට නොවේ.
ඇමරිකාව, “අන්‍යෝන්‍ය තීරු බදු” (reciprocal tariffs) ප්‍රතිපත්තිය යටතේ බොහෝ රටවල් සමඟ වෙළඳ ගැටුම් ඇති කර ගත් අතර, ඒවා විසඳා ගැනීමට ද්විපාර්ශ්වික සාකච්ඡා රාශියක් පවත්වා ඇත.
ඇමරිකාව සහ චීනය අතර දැවැන්ත වෙළඳ යුද්ධයක් පවතින අතර, දෙපාර්ශ්වය අතර සංකීර්ණ සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි. මේවායින් තීරු බදු අඩු කිරීම සහ වෙළඳ අසමතුලිතතා විසඳා ගැනීම අරමුණු විය.
2025 මැයි 12 දිනැති “Fact Sheet: President Donald J. Trump Secures a Historic Trade Win for the United States” යන මාතෘකාව යටතේ ධවල මන්දිරය නිකුත් කළ වාර්තාවල පවා චීනය සමඟ සාකච්ඡා සහ එහි ප්‍රතිඵල පිළිබඳව සඳහන් වේ.
යුරෝපා සංගමය ද ඇමරිකානු වානේ සහ ඇලුමිනියම් තීරු බදුවලට මෙන්ම වෙනත් තර්ජනවලටද මුහුණ දුන් අතර, EU-US ගිවිසුම් සහ සාකච්ඡා පිළිබඳව වාර්තා පළ විය. බ්ලූම්බර්ග් වැනි මාධ්‍ය මේ පිළිබඳව නිරන්තරයෙන් වාර්තා කළේය.
එසේම ඉන්දියාවද ඇමරිකානු තීරු බදු හේතුවෙන් බලපෑම් ලැබූ අතර, වෙළඳ නිලධාරීන් අතර උසස් සාකච්ඡා පැවති බවට වාර්තා විය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාව සහ ඇමරිකාව “අන්තර් ගනුදෙනුවක්” සඳහා උත්සාහ කළ බවයි.
වියට්නාමය ඇමරිකානු තීරු බදු වලින් සැලකිය යුතු ලෙස බලපෑම් ලැබූ අතර, ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර, ඒ 46% ක තීරු බදු අනුපාතයක් වළක්වා ගැනීමට ය.
කැනඩාව සහ මෙක්සිකෝව: මෙම රටවල් දෙක එක්සත් ජනපදය- මෙක්සිකෝව- කැනඩාව ගිවිසුම (USMCA) යටතේ NAFTA ප්‍රතිස්ථාපනය කිරීම සඳහා දැවැන්ත වෙළඳ සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී තීරු බදු සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.
ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව, තායිලන්තය, බ්‍රසීලය, මැලේසියාව, කාම්බෝජය වැනි තවත් බොහෝ රටවල්ද ඇමරිකානු තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවට වාර්තා වී ඇත.
එබැවින්, ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ගේ ප්‍රකාශය, ඇමරිකාව සමඟ තීරු බදු පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ එකම රට ශ්‍රී ලංකාව යන්න සත්‍යයක් නොවන බවට ඉහත නිශ්චිත වාර්තා මගින් සනාථ වේ. මන්ත‍්‍රීවරයා මේ සම්බන්ධව දැන දැන අසත්‍ය පැවසූවද , නොදැන පැවසූවද අප දන්නේ නැත.