ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ සටන් විරාමය, එය ක්‍රියාත්මක වී පැය කිහිපයක් ඇතුළතම දෙපාර්ශ්වය විසින්ම උල්ලංඝනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම වාර්තා සඳහන් කරන ආකරයට දෙරටේ මෙම් හැසිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දැඩි අප්‍රසාදය ප්‍රකාශ කර තිබේ.
සටන් විරාමය ආරම්භ වී පැය කිහිපයක් ඇතුළත ඉරානය ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව ඊශ්‍රායල් ආරක්‍ෂක අමාත්‍යවරයා චෝදනා කරයි.
මෙම මිසයිල අහසේදී විනාශ කළ බව ඊශ්‍රායල හමුදාවද පවසයි.
කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ තමන් සටන් විරාමයෙන් පසුව මිසයිල කිසිවක් එල්ල නොකළ බවයි.
කෙසේවෙතත් ඉරානයේ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ටෙහෙරානය ආසන්නයේ පිහිටි රේඩාර් මධ්‍යස්ථානයකට පහර දී තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ සටන් විරාම උල්ලංඝනයට “දැඩි ප්‍රතිචාරයක්” ලබා දීමට තමා නියෝග කර ඇති බවයි.
මෙහිදී ජනාධිපති ට්‍රම්ප් නේටෝ සමුළුවක් සඳහා පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, මෙම සටන් විරාමය දෙපාර්ශ්වයම උල්ලංඝනය කර ඇති බවයි. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ක්‍රියාවන් පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා දැඩි අප්‍රසාදයක් පළ කර ඇත.
එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ “මම ඊශ්‍රායලය ගැන සතුටු නැහැ” කියාය. තවද, දෙරටම මෙතරම් කාලයක් සටන් කර ඇති නිසා “ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදන්නා බව” ඔහු දැඩි ලෙස ප්‍රකාශ කර තිබේ. ඔහු ඊශ්‍රායලයට “බෝම්බ හෙළීම නවත්වන ලෙස” සහ “ඔබේ ගුවන් නියමුවන් ගෙදර ගෙන්වා ගන්න” ලෙසද අවවාද කර ඇත.
ට්‍රම්ප් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ දුරකථනයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව, ඊශ්‍රායලය තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ. නෙතන්යාහුගේ කාර්යාලය පවසා ඇත්තේ ඊශ්‍රායලය සිය යුධ ඉලක්ක සියල්ල සපුරාගෙන ඇති බවට ට්‍රම්ප් “අතිමහත් අගය කිරීමක්” පළ කළ බවත්, සටන් විරාමයේ ස්ථාවරත්වය පිළිබඳව ඔහු විශ්වාසයෙන් සිටින බවත්ය.