මැදපෙරදිග අර්බුදය පිළිබඳව වචනයක් ප්‍රකාශ කරගත නොහැකි ජාත්‍යන්තර සබඳතා පිළිබඳව කිසිදු අවබෝධයක් නැති දුර්වල ආණ්ඩුවක් අද මේ රට පාලනය කරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.
ජාත්‍යන්තර භාෂා පිළිබඳ අවබෝධයක් දැනුමක් නැති, ඒවා හුවමාරු කර ගත නොහැකි දුර්වල ආණ්ඩුවකින් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ඒ මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ තුෂාර ඉඳුනිල් මහතා රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන නායකයින් මැදපෙරදිග අර්බුදය සම්බන්ධව තම අදහස් ප්‍රකාශ කළ බව සිහිපත් කළේය.
“ජාත්‍යන්තර අත්දැකීම් ගැන මුහුපුරා ගියපු ආණ්ඩුවක් අපිට නැහැ. අපිට තියෙන්නේ බොහොම ළදරු ආණ්ඩුවක්. ළදරු ජනාධිපතිවරයෙක් බව කිව යුතුයි. රාජ්‍ය නායකයින් අතර හුවමාරු වන භාෂා හුවමාරු කරගන්න බැරි අය අද රට පාලනය කරනවා. මැදපෙරදිග යුද ගැටුම පිළිබඳව කිසිඳු මැදිහත්වීමක් කරන්න බැරි, ජාත්‍යන්තර සබඳතා ගැන අවබෝධයක් නැති, දුර්වල ආණ්ඩුවක් මේ රට භාරගෙන තිබෙන එක ගැන අපි කණගාටු වෙනවා.” යැයි තුෂාර ඉඳුනිල් මහතා වැඩිදුරටත් පැවසීය.