Home අද CMC බලය ගන්න මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇත්තන්ගේ සහය නොගත් බව ඔප්පු කරන්න...

CMC බලය ගන්න මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇත්තන්ගේ සහය නොගත් බව ඔප්පු කරන්න !

260
0

කොළඹ මහ නගරසභාවට මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාර්ශ්ව මන්ත‍්‍රීවරුන් ලෙස පත්ව ඇති බව ජනතාව පවසන බැවින් , ඒ අනුව එහි බලය පිහිටුවීමේදී ජාතික ජනබලවේගය ඔවුන්ගේ සහාය නොගත් බව ඔප්පුකර පෙන්වන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අභියෝග කරයි.

පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමේදී ජාතික ජනබලවේගය ආණ්ඩුව ක්‍රියාකරන ආකරය අනුව ඔවුන් විසින්ම ගොඩනැඟූ දේශපාලන සංස්කෘතිය පිළිබඳ කාරණය බරපතල ප්‍රශ්නයක්ව තිබෙන බවද ඔහු පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ගාල්ල මහ නගරසභාවේ බලය පිහිටුවීමේදී ඒ සඳහා කටයුතු කළ ආකාරය ඉතා හාස්‍ය ජනක මෙන්ම පිළිකුල්සහගත බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට පෙර ජාතික ජනබලවේගය පක්ෂය මේ රටේ ව්‍යාපාරික පැලැන්තිය සමඟ ගොඩනඟාගත් සන්ධානය මේ වන විට දේශපාලන තලය සමඟ ද සන්ධානගත වීමක් දක්වා ගමන්කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

අගමැති හරිනි අමරසූරිය ද පළාත් පාලන මැතිවරණයේදී පැරණි පාලක පක්ෂ හරහා හොරු දූෂිතයන් ඉදිරිපත්ව ඇති බැවින් ඔවුන්ට මෙන්ම ස්වාධීන ලේබල් යටතේද ඉදිරිපත්ව තිබෙන්නේ හොරු දූෂිතයන් බැවින් ඒ කිසිවෙකුටවත් ජන්දය නොදෙන ලෙස සිදුකළ ඉල්ලීමද දුමින්ද නාගමුව සිහිපත් කර සිටියේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානයක ද ජාතික ජනබලවේගය ආණ්ඩුවට පිටින් දේශපාලන කඳවුරක් නොමැති බවත් ඒ වෙනුවට ඇත්තේ සුන්බුන් ගොඩක් බැවින් ඒ සුන්බුන් එකතුකර පාලනයක් පිහිටුවීමට ජනවරමක් නැති බව පැවසූ බවද ඔහු සිහිපත් කර දුන්නේය.

එසේම  ටිල්වින් සිල්වා ද මේ රටේ ජනතාව විසින් පරාජය කර දැමූ දේශපාලන බලවේග සමඟ එකතුවී මොනම තත්ත්වයක් යටතේවත් සභා පිහිටුවීමට කටයුතු නොකරන බව පැවසූ බවද ඔහු සිහිපත් කර සිටියේය.

පසුව ඇතැම් ස්වාධීන කණ්ඩයම් සමඟ සභා පිහිටුවීමට සිදුවන බව සඳහන් කළ ජාතික ජනබලවේගය පක්ෂය මේ වන විට පරාජය කළ පක්ෂ වල සිටින හොඳ මිනිසුන් සමඟ සභා පිහිටුවන බව පවසමින් තොරණ වෙනස්කර ගසමින් සිටින බවද පවසා සිටියේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මෙසේද සඳහන් කළේය .

“මේ ආකාරයට ප්‍රතිපත්තිය වෙනස් කරමින්, නැරේටිව් එක වෙනස් ජාතික ජනබලවේගය ගසමින් සිටින තොරණ මේ වන විට කොටගල ප්‍රාදේශිය සභාව , සභාපති ලංකා කම්කරු කොංග්‍රසයෙන් උප සභාපති ජාතික ජනබලවේගයෙන්. හපුතලේ ගත්තොත් සභාපති මාලිවෙන් එනවා ඒකට සහාය දෙන්නේ තොණ්ඩමන්. හැබැයි මහ මැතිවරණයේදී අම්බිගා කිව්වේ, තොණ්ඩමන් ගේ ග්‍රහනයෙන් කඳුකරයේ ජනතාව මුදාගන්නවා කියලා. නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නේ. ”

මේ ආකාරයට රට පුරා ජාතික ජනබලවේගය ආණ්ඩුව පළාත් පාලන ආයතන බලය තහවුරු කරගැනීම වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය පක්ෂය , ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මෙන්ම රිෂාඩ්, පිල්ලෙයාන් ඇතුලු පාර්ශ්ව ගණනාවක් සමඟ සන්ධාන ගොඩනඟා ගනිමින් සිටින බවද දුමින්ද නාගමුව පැවසීය.

Previous articleමාස දෙකක් තිස්සේ ගුරු – විදුහල්පති වැටුප් ප්‍රමාදයක් !
Next articleශම්මි ඇතුළු නිලධාරී මණ්ඩලයේ සියලු පත්වීම් අවලංගු වෙයි ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here