Home අද W15 හෝටලයට වෙඩි තියන්න උවමනාවක් මට තිබුණේ නෑ – දේශබන්දු : CID...

W15 හෝටලයට වෙඩි තියන්න උවමනාවක් මට තිබුණේ නෑ – දේශබන්දු : CID යටත් සැර චෝදනාවක් !

137
0

මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් තමාට නොතිබූ බවත් මේ සියලු චෝදනා දේශපාලනික උවමනා බවත් වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් අද (23) සඳහන් කළේය.

ඒ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු වරට පෙනීසිට සාක්ෂි ලබාදෙමින්ය.

පාර්ලිමේන්තු කමිටුව අද 10 වැනි දිනයටත් පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී රැස්වුණි.

ප්‍රථමයෙන්ම ඔහුගෙන් ප්‍රශ්න කළේ ඔහුගේ නීතීඥ එස්.වීරවික්‍රම ය.

යුක්තිය මෙහෙයුම සහ හරක් කටා පිළිබඳ නැඟුණු ප්‍රශ්නවලට සාක්ෂිකරු පිළිතුරු ලබාදුනි.

”ස්වාමිනි, අපි දැඩි පරිශ්‍රමයක් දරලා හරක් කටා අත්අඩංගුවට අරන් ලංකාවට රැගෙන ආවා. හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිද්දිත් කිසිම බාධාවක් නැතිව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුක‍රගෙන ගියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුට සැඟවුණු ආශිර්වාදයක් ලැබුණා. ”

ඔබ වැඩබලන පොලිස්පති ලෙස පත්වීමෙන් පසු හරක් කටා ගැන ක්‍රියාමාර්ග ගත්තා ද?නිතීඥවරයා විමසීය.

”ඔව් ස්වාමිනි. ඔහු සමඟ සම්බන්ධතා පැවැත්වූ 149 දෙනෙකුගේ ලැයිස්තුවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් ලබාදුන්නා.

එම ලැයිස්තුවට මොකද කළේ? යනුවෙන් වීරවික්‍රම මහතා එහිදී විමසා සිටියේය.

”කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට මම වාචිකව උපදෙස් දුන්නා අදාළ ලැයිස්තුවේ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා.” යනුවෙන් තෙන්නකෝන් මහතා පිළිතුරු ලබාදුනි.

ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැතුව කොළඹ අපරාධ කොට්ඨාසයට විමර්ශන දුන්නේ යන්න නීතීඥවරයාගේ මීළඟ ප්‍රශ්නය වුණි.

“ස්වාමිනි, ඒ වෙද්දිත් CID එකේ අයට හරක් කටාගෙන් මුදල් යනවා කියලා ප්‍රචාරයක් තිබුණා. ඔවුන් ඒ වෙද්දිත් හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට ගෙන තිබුණේ නැහැ. එමනිසා තමයි CID එකට විමර්ශන පැවරුවේ නැත්තේ.”

එහිදී එක්වරම කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසුවේ කොළඹ අපරාධ කොටිඨාසයේ නිලධාරින්ට රාජකාරි කළහැකි බල ප්‍රදේශය කුමක්ද? යන්නය.

”ස්වාමිනි, කොළඹ ප්‍රදේශයේ. නමුත් පොලිස්පතිගේ උපදෙස් මත පිට පළාත්වලට යන්නත් පුළුවන්.” යනුවෙන් තෙන්නකෝන් මහතා පිළිතුරු දුනි.

නීතීඥවරයා එහිදී විමසුවේ ලැයිස්තුවේ සිටි පුද්ගලයින් බහුලව සිටියේ කුමන ප්‍රදේශවලද යන්නයි.

”ස්වාමීනී මාතර, වැලිගම, පැලෑන, මිරිස්ස ප්‍රදේශවල සිටින බව තමයි සඳහන් වුණේ. ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සම්පත් ලබාගන්නා මෙන් මම කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ට වාචිකව උපදෙස් දුන්නා.” යනුවෙන් දේශබන්දු තෙන්නකොන් මහතා පිළිතුරු ලබාදුනි.

පසුව වීරවික්‍රම මහතා ප්‍රශ්න කර සිටියේ වැලිගම W15 හෝටලයට අදාළ පිරිස ගියේ නීත්‍යනුකූල ක්‍රියාවක් සඳහාද යන්නයි.

“ඔව්. මගේ අවසරය මත හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට ගැනීමට තමයි එම පිරිස ගියේ” යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබාදුනි.

සභාපති විනිසුරුවරයා එහිදී ක්ෂණිකව ප්‍රශ්න කළේ තවමත් ඔබේ මතය එයම ද බවය.

ඊටත් ”ඔව්” යනුවෙන් තෙන්නකෝන් මහතා පිළිතුරු ලබාදුනි.

”වෙඩි තියපු හෝටලය ඉදිරිපිට තිබිලා SOCO නිලධාරින් උණ්ඩ කොපු 21ක් හොයාගෙන තිබුණා. නමුත් CCD නිලධාරින් පැවසුවේ ඔවුන් වෙඩි තිබ්බේ උණ්ඩ 9කින් විතරයි කියලා. පොලිස් ජංගම රථයේ නිලධාරින් වෙඩි තියලා තිබ්බේ උණ්ඩ 6යි. එකතුව උණ්ඩ 15යි. දැන් සැකයක් එනවා තුන්වෙනි පාර්ශ්වයක් වෙඩි තිබ්බාද කියලා. ” යනුවෙන් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා.

නීතීඥවරයා තවදුරටත් ප්‍රශ්න කලේ W15 හෝටලයට වෙඩි තැබීම සඳහා ඔබට යම් වුවමනාවක් පවතියාද යන්නයි.

ඊට දේශබන්දු මහතා පිළිතුරු ලබාදුන්නේ,
“මම එම හෝටලයේ අයිතිකරු කවුද කියලාවත් දන්නේ නැහැ. මට ඒ වගේ කිසිම අවශ්‍යතාවක් නැහැ. පුළුවන් නම් ඒ හිමිකරු හොයාගෙන අහන්න මාත් එක්ක පුද්ගලික තරහක් තිබ්බාද කියලා. මේක මාව මේ තනතුරෙන් ඉවත් කරන්න දේශපාලනිකව කරපු දෙයක්. මාව දින 20ක් බන්ධනාගාරගත කරලා තිබ්බා. මම මෙට්ටයක්වත් ඉල්ලුවේ නැහැ. මම මේ කමිටුව විශ්වාස කරනවා. මට සාධරණයක් වේවි. ඒ වගේම මේක ඉතිහාස ගතවේවී.”

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ අතර ඔහු විමසුවේ ,

CCD නිලධාරින් කවුරුත්ම එදා නිල ඇඳුමකින් ගියේ නැත්තේ? ඇයි යන්නයි.

ඊට පිළිතුරු ලෙස සාක්ෂිකරු,
”මොකක් හරි උපක්‍රමයක් වශයෙන් ඔවුන් එහෙම ගියාද දන්නේ නැහැ. ඒක ඔවුන්ගෙන්ම තමයි අහන්න ඕනේ. නමුත් මම නම් කිව්වේ නැහැ ඔක්කොම සිවිල් යන්න කියලා” යනුවෙන් පිළිතුරු ලබාදුන්නේය.

වීරවික්‍රම මහතා සාක්ෂිකරුගෙන් යළි ප්‍රශ්න කළා.
”ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ගත්තා කියලා ඔබට චෝදනාවක් තියෙනවා?

”මම ක්‍රිකට් බෝඩ් එකත් එක්ක සමීපව කටයුතු කළා. මැච් වලට ආරක්ෂාව දෙන්න මුල්වෙලා කටයුතු කළා. ඊටපස්සේ ක්‍රිකට් බෝඩ් එකෙන් මට ලිඛිතව දැනුම් දුන්නා ඔවුන් විශේෂඥ ආරක්ෂක උපදේශක කියන තනතුර මට ප්‍රදානය කරන්න කැමතියි කියලා. ඒ සඳහා මට මතක විදියට මාසිකව රුපියල් දෙලක්ෂ පනස් දහසක් ලබාදෙන්න ඔවුන් යෝජනා කරලා තිබුණා. මම ඒ ගැන තවකෙනෙක් එක්ක සාකච්ඡා කළා. ඔහු මට කිව්වා ඕක නම් ලෝක ලෙඩක් වෙයි ගන්න එපා කියලා. ඒ නිසා මම ලිඛිතව ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා මම ඒ තනතුරු භාරගන්නේ නැහැ මට ජොබ් දෙකක් කරන්න බැහැ කියලා.” ලෙස ඔහු පිළිතුරු දුනි.

මූලාශ්‍රය – derana

Previous articleඖෂධ හිඟයට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් සුපිරි විසඳුමක් !
Next articleBREAKING NEWS: ඉරානයේ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් කටාරය සිය ගුවන් කලාපය  වසා දමයි.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here