ඒ ඉරානය විසින් එක්සත් ජනපදයට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර සිය රටේ පිහිටුවා ඇති කඳවුරු වෙත එල්ල කරනු ඇතැයි පවතින දැඩි තර්ජනය හේතුවෙනි.
විශේෂයෙන්ම, කටාර්හි පිහිටුවා තිබෙන අල් උදෙයිඩ් ගුවන් කඳවුර (Al Udeid Air Base) වැනි ඇමරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් පවතින බවට සැකසංකා මතුව තිබෙන බව විදෙස් පුවත් මූලාශ්‍ර පෙන්වා දෙයි.
කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනුයේ කලාපයේ යුද ආතතියේ වර්ධනයන් හමුවේ පුරවැසියන්, පදිංචිකරුවන් සහ අමුත්තන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස ගුවන් කලාපය තාවකාලිකව වසා දැමූ බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන ආකරයට , මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ මෑතකදී එක්සත් ජනපදය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවය.
මේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ඉරානය ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනපද හමුදා “කලාපයේ හෝ වෙනත් තැනක” වුවද භාවිතා කරන කඳවුරු තම ඉලක්ක විය හැකි බවයි.
මේ සම්බන්ධව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර ඇත්තේ මැදපෙරදිග සිටින “සෑම ඇමරිකානු පුරවැසියෙක් හෝ හමුදා නිලධාරියෙක්ම” දැන් ටෙහෙරානයේ “ඉලක්කයක්” බවයි.
කටාර්හි අල් උදෙයිඩ් ගුවන් කඳවුර යනු මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපදයේ විශාලතම හමුදා කඳවුර වන අතර, දළ වශයෙන් ඇමරිකානු භට පිරිස් 10,000 ක් පමණ මෙහි රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා හි දැක්වෙයි.
මෙම කඳවුර කලාපීය ගුවන් මෙහෙයුම් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයද වෙයි.
එසේම කටාර්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් “තවදුරටත් දැනුම් දෙන තුරු රැඳී සිටින ලෙස” එරට ඇමරිකානුවන්ට උපදෙස් දී ඇති අතර, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා සිටින ඇමරිකානු සංචාරකයින්ට ” අවධානයෙන් පසුවන ලෙස ” අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
කෙසේවෙතත් මේ වන විට ඉරාන ප්‍රහාර අවධානම හමුවේ පූර්වාරක්ෂක පියවරක් ලෙස අල් උදෙයිඩ් ගුවන් කඳවුරෙන් ගුවන් යානා 40 කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ඇති බවද වාර්තා වෙයි.
ඒ සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක මණ්ඩලය සමඟ හදිසි සාකච්ජාවක් කැඳවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.