ශ්‍රී ලාංකික දේශපාලන හා සමාජ ආර්ථික පරිසරය නිදහසින් පසු කලින් කලට වෙනස්වීම්වලට ලක්වූයේය. අප අත්විඳි හැට ගණන්වල කාලයේ පටන් මේ දක්වා සිදු වූ එම දේශපාලනයේ හා සමාජ ආර්ථික පරිසරයේ පරිනාමය හඳුනාගන්නට අපට සමීක්ෂණ ඔස්සේ ලබාගත් සූක්ෂම දත්ත විවරණය කිරීමම අවශ්‍ය නොවේ. අප අත්විඳි පරිසරයේ දේශපාලන වෙනස්විම් මූලික කොට සිදු වූ සමාජ ආර්ථික ප්‍රවණතාවන් අපගේ මතකයෙන් ගිලිහී ගොස් නැත. පනස්පස් වැනි විය පසුකොට පරිණත වියට ගිය අයෙකුට 65-75 හත් හවුල් පාලනය යටතේ පැවති දේශපාලන වටපිටාව හා ඒ ආශ්‍රිතව අත්විඳි සමාජ වටපිටාවත් ආර්ථික කාරණාත් යන්තමින් හෝ මතකය. 70-77 කාලයේ දිවි පෙවෙතේ සරල බවත් එකළ මුහුණ පෑ ගැහැටත් අමතක නොවන්නකි. ඉන් අනතුරුව 77 න් මෙපිට විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග සිදුවූ සමාජ පරිවර්ථන ද, 88-93, 94-2001, 2002-2004, 2005-2014 දේශපාලන වශයෙන් සිදුවූ වෙනස්වීම්වලට අනුරූපව සමාජය තුළ සිදුවූ ප්‍රවණතා අපි අත්විඳ ඇත්තෙමු. එම ප්‍රවණතා ගැන කියන්නට අයෙකුට හුදෙක් සමීක්ෂණ දත්තම අවශ්‍ය නොවන්නේ ය. පාලන තන්ත්‍රයේ වෙනස්වීම්වලට සාපේක්ෂව සිදුවූ සමාජ පරිවර්ථනයන්ට අදාලව හා අනුරූපව ලාංකීය තරුණයාගේ ජීවිතාපේක්ෂාවනුත්, හැසිරීම් රටාවත් සූක්ෂම ලෙස වෙනස් වූයේය. මේ සියල්ලටම කලාපීය හා ලෝක දේශපාලන ප්‍රවණතා බලපෑ වගද මෙහිදී සිතා මතාම මතක් කරනු වටී. එහෙත් එයf වනම විග්‍රහ කර ගත යුත්තකි.
මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය විග්‍රහ කරනු පිණිස ඉහත කී අතීතය තුළ තරුණයා කේන්ද්‍රකොට නිර්මාණයවු සාර්ථක චිත්‍රපට කිහිපයක් මතක්කර ගැනීමෙන් සමාජ පරිවර්ථනයන්ට අනුරූපව වෙනස් වුනු තරුණයාගේ ජීවිතාපේක්ෂාව මූලික කොට ගත් හැසිරීම් රටාවත්, බහුචිතවාදියා චිත්‍රපටයේ සසිත නම් තරුණයා කේන්ද්‍රකොට විග්‍රහවන වර්තමාන සමාජ රටාවත් අපට වඩා හොඳින් හඳුනාගත හැකිබව මගේ විශ්වාසයයි. හැත්තෑව දශකයේ මූල් භාගයේ නාගරික තරුණ ජීවිතය විග්‍රහ කරමින් නිර්මාණය වුනු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ අහස් ගව්ව චිත්‍රපටයේ එන තරුණ ජීවිත මදකට මතක් කර ගනිමු. (එවකට තරුණ ජීවිතයේ යථා ස්වරූපය ඉන් නිරූපණයවූ වග මම විශ්වාස කරමි.) එවකට විරැකියාවෙන් පෙළුණු තරුණයාගේ මූලිකම අභිප්‍රාය වූයේ රැකියාවක් සොයාගැනීමයි. ඔහුගේ සියුම් අසහනයන් ගොනුවී තිබුණේ ඒ වටාය. එම තරුණයාට එදිනෙදා ආර්ථික අපහසුතා ජයගනු පිණිස කෙටිකාලීන (එදිනෙදා මුදල් ලැබෙන) රැකියාවක් හෝ සොයාගැනීම අපහසු විය. ඔහු වාහන පිළිබඳව හෝ අළුතෙන් ගේ දොර ඉදිකිරීම පිළිබඳව සිහින මැවූ අයෙකු නොවේ. ඔහුගේ ලිංගිකාපේක්ෂාවන් ආදරයෙන් ඔබ්බට ගියේ ඉඳහිටය. වායු සමනය කළ සුන්දර අවන්හලක විස්කි තොල ගෑමේ සිහින අපේක්ෂා ඔහුට නොවීය. අගනා ඇඳුමෙන් සැරසී උජාරුවෙන් ගමන් යාමේ අවශ්‍යතාවක් ඔහුට නොවීය. ජීවත්වීම සඳහා ඔහු කළ කපටිකම් මහා අපරාධ තරම් දරුණු ඒවා නොවේ. අහස්ගව්ව චිත්‍රපටයේ එන, කැඩුණු රබර් සෙරෙප්පුවට කටුව අමුණාගෙන ගමන් බිමන් යන තරුණයාගෙන්, මැජික්කරුවා මවන රුපියල හෙමිහිට සාක්කුවේ ඔබා ගන්නා තරුණයාගෙන්, අනුන්ගේ කුණු අදින්නට නගර සභාවේ ට්‍රැක්ටරය එළවන්නට තීරණය කළ තරුණයාගෙන්, බැරිම තැන අනුන්ගේ පොකැට්ටුවට ගසන්නට පෙළඹෙන තරුණයාගෙන් ඉහත කී කාරණා ස්ඵුට වන්නේ ය.
1976 වසරේ තිරගත වූ වසන්ත ඔබේසේකර නිර්මාණය කළ වල්මත්වූවෝ චිත්‍රපටයෙන් එළිදැක්වූයේ හැට හැත්තෑව දශකවල ගම්බද තරුණයාගේ ජීවිතයයි. අජනත්තා රණසිංහ ගේය පද රචනාකළ එම චිත්‍රපටයේ තේමා ගීතයේ කොටසක් පහත දැක්වේ.
මලින් මලේ රොන් පොපියන
තරුණ බමර ජීවිතේ
කප්තුරු හිස දළු ලියලන
නව යෞවන ජීවිතේ
අපට උරුම නැත – නාඩන් හදවත
අරමුණු විසඳුමක් නැතේ
අද පමණයි හෙටක් නැතේ
හිස් අහසට අත් ඔසවා අපිත් කිරට හැඬුවා
සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා
ගමේ තරුණයා නිර්මාණාත්මකය. ඔහු ටීටර් නාට්‍ය සංවිධානය කොට ඒවායේ රඟයි. ඔහු ගමේ ප්‍රභූන්ගේ ඉරිසියාවට පාත්‍ර වෙයි. එම ඉරිසියාවට පාත්‍ර වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුව පොලිසියෙන් අත් අඩංගුවට ගන්නේ නාට්‍ය රඟපාන අතරතුර රංග වස්ත්‍ර පිටින්මය. ඉඳහිට බූරුවා පොලේ බූරුවා ගසන ඔහු මිතුරන් හා විනෝදවන්නේ රා බොමින් ය. ඔහු ගමේ ගණිකාව ළඟට යන්නේ රහසේ වීරක්‍රියාවක් කරන්නාක් මෙනි. උපාධිධාරී ගම්බද තරුණයා රැකියාවක් නොලැබීමේ හිතේ අමාරුව නිසා උපාධි සහතිකය ගිනි තබයි. ආර්ථික අපහසුතා නිසා ඔහුගේ ගේදොර ඉඩකඩම් ගමේ ප්‍රභූවරයාට සින්නවන්නට යයි. ඔහුගේ විවාහ අපේක්ෂාවන් බිඳ වැටේ. තමන් පෙළන ගමේ ප්‍රභූවරයාට පිහියෙන් අනින්නට ඔහු ඉදිරිපත් වන්නේ දරාගත නොගෙන අසහනය නිසාමය. (චිත්‍රපටයේ නොපෙන්වුවද 71 කැරැල්ලට එකතු වූ තරුණයින් මේ පරපුරේ අයයි)
ආචාර්ය ධර්මසේන පතිරාජ 1980 ආසන්නයේ තිරගත වූ පාර දිගේ චිත්‍රපටයෙන් එවකට නාගරික තරුණයාගේ ස්වරූපය ගෙන හැර පෑවේය. ඒ වන විට රටේ විවෘත ආර්ථිකය ක්‍රියාත්මක වෙමින් පැවති නිසා තරුණයින් හට එදිනෙදා (හොඳින් හෝ නරකින්) ජීවිතය අටවාගත හැකි ඉතා කෙටි කාලීන මුදල් ඉපයීමේ ක්‍රම බිහි වී තිබිණ. මෙම චිත්‍රපටයේ තරුණයා කළේ කාර් සීස් කිරීමයි. විවෘත ආර්ථිකයේ වාණිජ අරමුණු වෙත යන්නට ඉඩ සැලසෙන පරිදි ඒවන විට පෙරට වඩා ලීසිං පහසුකම් වර්ධනය වී තිබිණි. මෙම චිත්‍රපටයේ තරුණයා ගමෙන් නගරයට පැමිණි අයෙකි. ඒ වන විට ඔහු ගමට නොගැලපෙන අයෙකි. එම චිත්‍රපටයේ තේමා පාඨය වූයේ,
“අපි අහක දාපු එඬරු දඬු වගේ. අපේ දළු ලියලනවා. ඒත් මුල් නෑ” යන්නයි.
කාර් සීස්කොට ලැබෙන මුදලින් ඔහු අළුත් නාගරික දිවිය රස බලයි. සෙලින්කෝ ආකාස කඩේ අවන්හලට යන ඔහු බීර බොයි. රෝල්ස් එකක් අනුභව කරමින් එහි ඇති දුරදක්නයෙන් නගරය දෙස බලයි. වාහන හිමි නැතත් කාර් එලවාගෙන පෙම්වතිය සමග සවාරි යයි. පාර දිගේ චිත්‍රපටයේ එන තරුණයාගේ ජීවිතාපේක්ෂා අහස් අගව්ව හා වල්මත් වූවෝ චිත්‍රපටයෙන් හෙළිකළ තරුණයාගේ ජීවිතාපේක්ෂාවන්ට වඩා සංකීර්ණය. වාසනාව උරලා බලන්නට ඔහු සූදු කෙලී. ඔහු වටා ඇත්තේ විවෘත ආර්ථිකය නිසා අවතීර්ණ වූ අළුත් දෑ සහිත පරිසරයකි. ඊට ගැලපෙන ආකාරයට ඔහුගේ තරුණ ජීවිතය ඔහු ගත කළ යුතුය. මේ සඳහා අළුතෙන් ජනිත වූ කෙටි කාලීන හොඳ හෝ නරක රැකියාවක යෙදීමේ අවකාශය ඔහුට ලැබීය.
අතීත දශක කිහිපයක් සාර්ථකව චිත්‍රපටවලින් නිරූපණය කළ එම අධ්‍යක්ෂවරුනට ස්තූති වන්නට එදා මෙදා තරුණ ජීවිතවල විසංසන්ඳනය (ජදබඑර්ිඑ) අපට තේරුම්ගත හැකිය. එහෙත් වසර 2000න් මෙපිට තරුණ ජීවිතය යථාවත් ලෙස නිරූපණය කරන සාර්ථක චිත්‍රපටයක් තිරගත වූ වගත් මගේ මතකයට නොඑන්නේය. මාලක දේවප්‍රිය බහුචිතවාදියා චිත්‍රපටයෙන් කර ඇත්තේ එම අඩුව පුරවාලීමකි.
මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය ගැන නොකියා මෙතරම් දිගට පැරණි චිත්‍රපට 3 ක් ගැන මතක් කර ගත්තේ, බහුචිතවාදියා චිත්‍රපටයේ නිරූපිත සමාජ පසුබිම තේරුම් ගැනීමට එය මහෝපකාරීවන නිසාය. අද විරැකියාවෙන් පෙළෙන තරුණයාගේ හැසිරීමත් එම සමාජ පරිසරය හා ඔහුගේ ජීවිත ගෙතී, පැටලී අන්තර් ජංජාලයක් බවට පත් වී ඇති ආකාරයත් බහුචිතවාදියා වෙතින් මොනවට නිරූපණය වී ඇත.
බහුචිතවාදියා චිත්‍රපටයෙන් කෙරෙන්නේ හුදෙක් වර්තමානයේ විරැකියාවෙන් පෙළෙන නාගරික තරුණයාගේ ජීවිතය නිරූපණය කිරීමම නොවේ. මාලක, විරැකියාවෙන් පෙළෙන එම තරුණයා කේන්ද්‍ර කොටගෙන, ඉදිරිපත් කර සිටින්නේ අයදතන සමාජයේ හරස් කඩක සමස්ථ පින්තූරයකි. චිත්‍රපටයේ එන සසිත නම් තරුණයා අනෙකුත් චරිතයන් සමග යෙදෙන අන්තර් ක්‍රියාව පදනම් කොට අධ්‍යක්ෂවරයා එම සමාජ චිත්‍රය අප ඉදිරියේ තබයි. එම චිත්‍රය යථාර්ථවත් සිතුවමකි. ඒ තුළ නිරූපණය වන්නේ පසුගිය දශක කිහිපයේ ඇති වූ සමාජ ආර්ථික හා දේශපාලන පරිණාමයේ වර්තමාන ඵලයයි. වඩාත් මෑත දශකයේ අන්තර්ජාලය ඇතැම් සන්නිවේදන ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනය හා පැතිරීම මත ජනිත වූ පුද්ගල සම්බන්ධතා කරණකොට ගෙන බිහි වූ සමාජ ජාලයේ සංකීර්ණතා සියුම්ව ලිහාගෙන ඒවායේ යථාර්ථය පිරික්සා බලන ලෙස මෙම කෘතිය අපට සන් කරයි.
චිත්‍රපටයේ එන නාගරික තරුණයා අධ්‍යාපනය සාර්ථක ලෙස නිමාකරගන්නට නොහැකිවුණු බහුතරය නියෝජනය කරන්නෙකි. ඔහු බොත්තම් ඔබන ජංගම දුරකථනයේ සිට ස්මාර්ට් දුරකථනය දක්වා දුරකථන සුහුරු වත්මන් පරපුරේ අයෙකි. පරිගණකයේ තමන් රිසි අංග මැනවින් හුරු අයෙකි. මුහුණු පොතෙන් (ත්‍්ජැ ඊදදන) තමන්ට ඕනෑ සම්බන්ධතා ගොඩනගා ගන්නට රුසියෙකි. ඔහු ජීවත්වන සමාජයද විශේෂයෙන් පසුගිය දශකය තුළ අන්තර් ජාලයේ පැටලුණු සමාජයකි. ඔහු අහස්ගව්ව චිත්‍රපටේ හෝ වල්මත් වූවෝ චිත්‍රපටයේ එන තරුණයා මෙන් සරල දිවිපෙවෙතක් ඇත්තෙකු නොවේ. එම චරිතය එක් අතෙකින් පාර දිගේ චිත්‍රපටයේ එන තරුණ චරිතයේ සමීප විකාෂණයකි. මෙම තරුණයාට කිනම් විදිහකින් හෝ වාහනයක් (මෝටර් සයිකලයක් හෝ) අවශ්‍ය ය. ජංගම දුරකථනයක් අවශ්‍ය ය. ලැප්ටොප් යන්ත්‍රයක් අත්‍යාවශ්‍යය.
මුදල් ඇතැම්විට අවශ්‍ය වන්නේ ලක්ෂ ගණනකිනි. කඩවසම් ඇඳුමක් අඳින ඔහු අහස්ගව්ව චිත්‍රපටයේ එන තරුණයා මෙන් රබර් සෙරෙප්පු නිතර පළඳින අයෙකු නොවේ. කලිසම් ඇතැම්විට ඉනෙනුත් පහළට එල්ලෙයි. ගංජා උගුරක් උරන්නේ ඊට තදින් ඇබ්බැහි වූවකි ලෙසවත්, කලාතුරකින් වීරක්‍රියාවක සේ එය කරන අයෙකු ලෙසත් නොව සාමාන්‍ය මට්ටමකිනි. ඔහු පහසුවෙන් මුහුණුපොතෙන් හාදව ස්කයිප් මගින් සංවාදයේ යෙදෙන්නේ මැද පෙරදිග ගිය කාන්තාවන් සමගයි.
ලාංකීය කාන්තාවට මැදපෙරදිග සේවයට යන්නට හේතු වූ කාරණා මෙහිදී දිගින් දිගට විස්තර කිරීම අනවශ්‍යය. එම කාන්තාව එයාර් මේල් ලිපි හුවමාරු කරගත් කාලය ඉක්ම ගොස් දැන් බොහෝ කල්ය. ඔවුහු මුහුණු පොතත්, ස්කයිප් තාක්ෂණයත් මැනවින් පරිහරණය කරති. සමාජ හා ආර්ථික ජීවිතයෙන්ලත් කස පහරේ වේදනාව සමනය කරගන්නට ඔවුහු නව තාක්ෂණයෙන් සම්බන්ධතා ඇති කරගෙන සන්නිවේදනයේ යෙදෙමින් තම සිත් වේදනා හා අසහනයන් දුරු කරගන්නට පෙළඹෙති.
වර්තමාන ලාංකීය සමාජය තුළ තරුණ ශ්‍රමය සූරාකන්නේ දැනට දශක කිහිපයකට පෙර ශ්‍රමය සූරා කෑ සාම්ප්‍රදායික කොම්පැණි හිමිකාර හාම්පුතා පමණක් නොවේ. විවෘත ආර්ථිකයේ එන සන්නිවේදන තාක්ෂණයේ ඵලයක් ලෙස කුඩා ව්‍යාපාර වර්ග රාශියක් ලාංකික සමාජ තුළ පසුගිය දශක දෙක තුල ජනිත වූයේය. (උදා:- සන්නිවේදන මධ්‍යස්ථාන, රෙකෝඩ් බාර්, බෙදාහැරීම් සේවා, පරිගණක මධ්‍යස්ථාන, මුද්‍රණ ආයතන) ඒවායින් සමහරක අයිතිකරුවෝ සාම්ප්‍රදායික වාමාශික පක්ෂවල සිටි අයමය. 80 වර්ජනයට අසු වී ව්‍යාපාරවලට පිවිසි අයද මේ අතර සිටිති. ශ්‍රමය සූරාකන අයුරු ඔවුහු වඩාත් හොඳින් දනිති. තම සේවකයා පුතා කියා අමතන ඔවුහු තරුණයා ඇද බැඳ තබාගන්නා මෝටර් සයිකල්, පරිගණක, ජංගම දුරකථන ආදිය පරිහරණය කිරීමේ තාවකාලික අවස්ථා ඔවුනට දී සූරාකමින්ම ඔවුන් සේවයේ තබාගන්නට යත්න දරති. අවශ්‍යවිටක ලිංගික ශ්‍රමය සූරාකන්නටද ඔවුහු පසුබට නොවෙති. අණ සහ බණ යන දෙක යොදාගනිමින්, අවශ්‍යනම් සීතල ලෙස මැර බලය පරිහරණය කරන අයුරුත් අළුත් හාම්පුතාලා සාම්ප්‍රදායික කොම්පැණි කාරයාට වඩා හොඳින් දනිති.
යුද්ධය පැවති සහ යුද්ධය දිනූ සමාජ වට පිටාව සිංහලෝත්තම වාදය, බෞද්ධෝත්තම වාදය හා දේශීය වාදය (විදේශීය සෑම දෙයකටම වඩා දේශීය දෑ වඩාත් අගයකින් යුක්ත බව පිළිගැනීම) හොඳින් ලියලා වර්ධනය වූයේය. බිහිවූ ඇතැම් දේශපාලන පක්ෂවල පදනම වූයේද ජාතිවාදයයි. මේ බව දැන සිටි දේශපාලකයා යුද්ධය මාර්කට් කළේය. ඉහත කී සිංහලෝත්තම වාදය අතැම් වාදයන් ප්‍රචාරය කිරීම තුළ ඔහුගේ ඡන්ද එක්තරා මට්ටමක් දක්වා වැඩිවිය. රූපවාහිනී චැනල්කාරයෝ සහ රේඩියෝ චැනල් කාරයෝ තම වැඩ කොටස නොමදව ඉටු කරමින් මෙහිදී දේශීය වාදය ප්‍රචාරය කරන වැඩ සටහන් තළු මරමින් ඉදිරිපත් කළෝය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස අවිචාරවත් තරුණ පරපුරකට අමතරව අවිචාරවත් තලතුනා වැඩිහිටි පරපුරක් බිහිකරලීමට ද රූපවාහිනී සහ රේඩියෝ චැනල සමත් විය. ප්‍රෞඪ ලාංකීය ඉතිහාසයක රසය තලු මරා ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහන් අවිචාරයෙන් නරඹන තලතුනා පරපුරක් බිහි කරන්නට ජනමාධ්‍ය දායකවූයේ එසේය. පශ්චාත් යුද්ධමය පරිසරයක අතීත ප්‍රෞඪත්වයෙන් ඔවුහු රස නහර පිනවා ගත්තෝය. ඊට අමතරව ජනමාධ්‍ය මගින් පෙන්වන කුමන හෝ දසුනක් නරඹා, කුමන හෝ ශබ්දයක් අසාගෙන ඔහේ ඉන්නා තලතුනා පරපුරක් ද මතුවූයේය. මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා වීණා ජයකොඩි රඟන අයිරාංගනීගේ චරිතය ඉහත කී දෙකොට්ඨාශය නියෝජනය කරන්නකි.
රැකියාවෙනුත්, විවාහ ජීවිතයෙනුත් තරමක් දුරටත සමාජයෙනුත් ඈත්ව පරපුටුවෙකු සේ දිවි ගෙවමින් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඇට්ටර ජීවිතයක් ගත කරන තරුණයා, විදේශගත වී හෝ ස්ථාවර ජීවිතයක් ලබන්නට අපේක්ෂාවෙන් සිටින තරුණයාට වඩා භයානක අයෙකි. ඔහු අවශ්‍ය විටෙක මිනී මරන්නට පවා පසුබට නොවෙන අයෙකි. මුදල් අවශ්‍ය විට ඔහු මිනී මරන්නට යෝජනා කරයි. තමාට අවශ්‍ය විට මිත්‍රද්‍රෝහි වීමට ඔහු පසුබට නොවෙයි. චිත්‍රපටයේ සසිතගේ මිතුරාගේ චරිතය එවැන්නකි.
සසිතගේ අක්කාගේ චරිතය නාගරික ජීවිතයේ විවාහ වන්නට නොහැකිව ඉන්නා, ස්වයං රැකියාවක යෙදෙමින් ජීවත් වන්නට වෙර දරන කාන්තාව නියෝජනය කරයි. තරුණ කාලයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාව කළ මෙවැනි කාන්තාවන් වර්තමාන සමාජය තුළ අපට නිතර හමුවේ.
තම තම ජීවිතාපේක්ෂා ලුහු බඳිමින් යන උක්ත චරිතවල අන්තර්ක්‍රියාවලීන්ගෙන් සැදුම්ලත් සමාජ රටාව සමාජය තුළ පවතින්නා සේම චිත්‍රපටය තුළ ක්‍රියාත්මක වන්නේ ද එකිනෙකාගෙන් වියුක්තව නොවේ. එය එකම සංකීර්ණ රටාවකි. එකට කැටිවූ ගුලියකි. එම රටාවේ සිතුවම අප ඉදිරියේ තබන්නට සිනමාකරුවාට අයාසයෙන් ගොඩනගාගත් කතාවක් ඕනෑ වී නැත.
සමන් පුෂ්ප ලියනගේ
ෆේස්බුක් ගිනුමෙනි