රාජ්‍ය ව්‍යාපාර සියල්ල කළමණාකරණය කිරීම සඳහා සමූහ සමාගමක් හඳුන්වාදෙන බවත් එහි සභාපති ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස සෙසු අමාත්‍යංශ නිලධාරීන් පත්කෙරෙන බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
එසේම අදාළ සමූහ සමාගම රාජ්‍ය අංශයේ වැඩ කිරීමට බාධාවන චක්‍රලේඛ අඥා පණත් මෙන්ම භාණ්ඩාගාරයෙන් ද නිදහස්ව ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
“ආයෝජකයන් එන්නේ නැත්තේ මොකද කියලා බැලුවාම, එකක් දූෂණය. ඒක දේශපාලන තලයේ සීරෝ කරලා තියෙන්නේ. දෙක, අනුමත කිරීමේ ප්‍රමාදය. තුන, බදු. අපේ බදු ආයෝජකයන්ට වැඩියි.
මෙන්න මේ අවස්ථා ටික ලිහිල්කර දීලා, හදනවා අලුත් යාන්ත්‍රණයක්. ඒක කැබිනට් මණ්ඩලයේ දී අනුමත වුණා. මේක හෝල්ඩිං කම්පැනි එකක්. රාජ්‍ය ව්‍යාපාර සියල්ල කළමණාකරණය කරන්නේ මේ සමාගම විසින්. එහි සම්පූර්ණ අයිතිය තියෙන්නේ රජයට. හැබැයි සභාපති වෙන්නේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා. අධ්‍යක්ෂවරුන් වෙන්නේ ඒ ඒ අමාත්‍යංශ නිලධාරීන්.
රාජ්‍ය අංශයේ වැඩ කරන්න බැරි වෙන චක්‍රලේඛ – ආඥාපණත් වලින් මේ සමාගම සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. භාණ්ඩාගාරයෙනුත් නිදහස් වෙනවා. ලිහිල් භාවයක් ඇති කරනවා.ඒ මේ ආයතන විකුණා නෙවෙයි. ඒ පහසුවෙන් වැඩ කරන්න. රාජ්‍ය ව්‍යවසාය සියල්ල මේ යටතට ගේනවා. කිසි දෙයක් විකුණන්නේ නෑ.”
සංස්කාරක සටහන :
මාර වැඩක් ලෙස පෙනුමෙන් යුතු වූවත් හරයාත්මක ලෙස බැලීමේදී සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ගේ මේ සැළැස්ම අමු විකාරයක් වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
මෙරට තුළත් ගෝලීය අත්දැකීමට අනුවත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණවලදී ඒවා සාර්ථක වී ඇත්නම්, (ලංකාවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමේ කළමණාකරණය යටතේ ලාභ ලැබීම ) ඒ එකී ආයතනයේ කළමනාකරණය හෝ අයිතිය පෞද්ගලික අංශය සම්බන්ධ කර ගෙන තිබෙන අවස්ථා වලදීය.
මෙහිදී ඉදිරිපත් වී ඇති 100% රාජ්‍ය සමූහ සමාගමක් ලෙස රාජ්‍ය ව්‍යාපාර විකුණන්නේ නැති බවට ප්‍රකාශ කිරීම තුළින්, පෞද්ගලික අංශයට මෙම ව්‍යාපාරවල කොටස් මිලදී ගැනීමට හෝ ඒවායේ අයිතිය ලබා ගැනීමට ඇති අවස්ථාව මුළුමනින්ම ඇහිරී යන බව පැහැදිලිය.
සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයේ ආයෝජකයන් තමන්ගේ ආයෝජනයට සරිලන පරිදි ආයතනවල කොටස් හෝ පාලන බලය අපේක්ෂා කිරීම ස්වාභාවිකය. මන්ද වක්කඩේ හකුරු හංගන ප්‍රතිඵල ලබන්න පෞද්ගලික ආයෝජකයන්ට පිස්සු නැත.
මෙවැනි කටයුතු වලදී සහයෝගීතා ආකෘති ගොඩනඟා ගෙන තිබෙනුයේ ද ඒ නිසාය ඒ අනුව පෞද්ගලික අංශය සම්පූර්ණ අයිතිය නොමැතිව වුවද, ඔය කියන ආයෝජන සඳහා යොමුවීමට නම් එවැනි ආකෘතියක් හරහා යායුතුමය.
නිදර්ශනයක් ලෙස කළමනාකරණ කොන්ත්‍රාත් ආකෘතියක් අනුගමනය කිරීම පෙන්වාදිය හැකිය. එනම් රාජ්‍ය ව්‍යාපාරයක කළමනාකරණය පෞද්ගලික සමාගමකට පැවරීමක් සිදුවෙයි.මෙහිදී කළමනාකරණ ගාස්තුවක් හෝ ලාභයෙන් කොටසක් පෞද්ගලික සමාගමට ලැබෙන අවස්ථාව තිබේ.
ප්‍රධාන ව්‍යාපෘති කොන්ත්‍රාත් පැවරීමද තවත් එවැනි ක්‍රමයකි. එහිදී යම් විශේෂිත ව්‍යාපෘති හෝ මෙහෙයුම් සඳහා පෞද්ගලික අංශයේ විශේෂඥ දැනුම හා තාක්ෂණය ලබා ගැනීම සිදුවේ.
නැතිනම් පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වයන් ( PPPs) වෙත යොමුවීමය. මෙහිදී, ව්‍යාපෘතියක ආයෝජනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව සිදු කරයි.
කෙසේ වෙතත්, මේවාට වුවද පෞද්ගලික අංශය පෙළඹෙන්නේ පැහැදිලි ප්‍රතිලාභ, ස්ථාවර ප්‍රතිපත්ති සහ අවම දේශපාලන අවදානමක් තිබේ නම් පමණය. යෝජිත සමූහ සමාගමේ පාලනය මුළුමනින්ම රජය අතේ තිබීම සහ දේශපාලන මැදිහත්වීම් පිළිබඳ අවදානම, පෞද්ගලික අංශය අධෛර්යමත් කළ හැකිය.
අනෙක් අතට “රාජ්‍ය අංශයේ වැඩ කිරීමට බාධා වන චක්‍රලේඛ, ආඥා පණත් මෙන්ම භාණ්ඩාගාරයෙන් ද නිදහස්ව ක්‍රියාත්මක කෙරෙන බව” යන අමාත්‍යවරයාගේ ප්‍රකාශය පෞද්ගලික අංශය තුළ අවිනිශ්චිතතාවයක් ඇති කරන්නකි.
අමාත්‍යවරයා කුමක් කීවද මෙකී ව්‍යුහයම තහවුරු කරන්නේ විධිමත් පාලනයක් වෙනුවට රාජ්‍ය නිලධාරී පැලැන්තියක් විසින් අත්තනෝමතික ලෙස ක්‍රියා කළ හැකි ව්‍යුහයකි.
එය ආයෝජන විශ්වාසයට හිතකර යැයි සිතනවා නම්, මොලේ පරීක්‍ෂා කරගත යුතුය. දුක් මහන්සියෙන් උපයනු ලැබූ මුදල් මෙවැනි විකාර අවධානම් ආකෘති අස්සේ ආයෝජනය කරන්නේ කවුද ? අපට අනුව නම් එවැන්නක් ගැන හිතීමත් පිස්සුවකට වැඩි නැත.
අනෙක් අතට තවත් වැදගත් සහ අවධානය යොමුකළ යුතුම කාරණයක් මෙහි පවතී. ඒ මේ කියන සමාගම “රාජ්‍ය විගණනයෙන් බේරී හොරකම් කිරීමට ඉඩ හැදීමට ” ඇති අවදානමයි.
රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණයට අදාළව, මුළු පංගුවම රාජ්‍ය අංශය සතුවූ විට, එවැනි සමූහ සමාගමක් පිහිටුවීමේදී දූෂණය සහ අක්‍රමිකතා සඳහා ඇති අවදානම ඉහළ යා හැකි ආකාර කිහිපයක් ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.