බෙලිහුල්ඔය කලාපයේ සංචාරක ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන්, නන්පේරියල් ගම්මානයේ සිට හෝටන්තැන්න දක්වා දිවෙන අධිසංවේදී වනගත මාර්ගයක් මහජනතාවට විවෘත කිරීමට සූදානමක් පවතින බවට පරිසරවේදීන් අනතුරු අඟවයි. මෙම මාර්ගය විවෘත කිරීමෙන් සිදුවිය හැකි පාරිසරික හානිය පිළිබඳව ඔවුන් දැඩි අවධානයක් යොමු කර ඇත.
නන්පේරියල් යනු මුහුදු මට්ටමේ සිට අඩි 5000ක් (මීටර් 1500ක්) පමණ ඉහළින් පිහිටි මෙරට උසම ගම්මානයන්ගෙන් එකක් වන අතර, එය රත්තනගොල්ල යෝජිත රක්ෂිත වනාන්තරය හා සමනල රක්ෂිතය අතර පිහිටා ඇත. මෙම මාර්ගයේ වනගත නොවන කොටස නන්පේරියල් ගම්මානය සහ නැග්රුක් බංගලාව දක්වා වාහන ගමනාගමනයට යෝග්‍ය වුවද, නැග්රුක් බංගලාවෙන් ඔබ්බට ලෝකාන්තය දක්වා දිවෙන මාර්ගය අධිසංවේදී වනගත කලාපයක් හරහා වැටී ඇත. 2020 වසරේදීද මෙම මාර්ගය විවෘත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී දැඩි විරෝධයක් මත එය වළක්වා ගැනීමට හැකි විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද එවකට ඊට විරෝධය පළ කළේය.
මාර්ගය විවෘත කිරීමට එරෙහි වීමට හේතු!
මෙම කිලෝමීටර් 2-2.5ක් පමණ දිග වනගත මාර්ග කොටස සමනල රක්ෂිතය සහ හෝටන්තැන්න එකිනෙක හා සම්බන්ධ කරන සංවේදී කලාපයකි. එය වනසත්ව මංකඩක් (Migratory Passage) ලෙස ක්‍රියා කරන අතර, වනජීවීන්ගේ ප්‍රජනක බිම් (Breeding Grounds) සහ ආහාර සොයා යන බිම් (Feeding Grounds) පිහිටා ඇත. හෝටන්තැන්නෙන් ආරම්භ වන බෙලිහුල්ඔයද ගලා බසින්නේ මෙම කලාපය හරහාය. හෝටන්තැන්නේ වනගහනය අවම වුවද, මෙම කලාපය තුළ හොඳ වනගහනයක් පවතින අතර, එය විශාල ශාක හා සත්ව ගහනයකට නිවහන වේ.
සුවිශේෂී ජෛව විවිධත්වය!
ක්ෂීරපායින්: මෙහි කොටියන්ගේ සැලකිය යුතු ගහනයක් වාර්තා වන අතර, පර්යේෂකයන්ට අනුව දුර්ලභ කඳුකර උණහපුළුවා (රත් උණහපුළුවාගේ උප විශේෂයක්) ද මෙහි වාර්තා වේ. මීට අමතරව වලස් වඳුරා, ඕලු මුවා, මහ කැලෑ ලේනා, බටු ලේනා, ලංකා කටු මීයා, ලංකා නෙළු මීයා, රන් හෝතඹුවා, කොළ දිවියා සහ හඳුන් දිවියා වැනි ක්ෂීරපායී විශේෂද දැකගත හැකිය.
ශාක: මෙය තෙත් වනාන්තර කලාපයක් බැවින් ලයිකන බහුලව දක්නට ලැබේ. සමහර ලයිකන විශේෂ මෙම කලාපයට පමණක් ආවේණික වන අතර, ඒවා ලංකාවට ආවේණික ලයිකන ලෙසද සැලකේ. මීවන, නෙළු සහ උඩවැඩියා වැනි ශාක රාශියක් ද මෙහි දක්නට ලැබෙන අතර, ඒවායින් බහුතරයක් මෙරටට ආවේණික විශේෂ වේ.
ඒ සම්බන්ධව පරිසරවේදින් මෙලෙස විස්තර කර සිටියි.
උභයජීවීන් සහ උරගයින්: වාර්තා වන උභයජීවී විශේෂ 20න් 19ක්ම මෙරටට ආවේණික වන අතර, ලංකා කඳුකර මැඩියා සහ මහඑලිය පඳුරු මැඩියා ඒ අතර ප්‍රමුඛ වේ. වාර්තා වන උරග විශේෂ 10න් 9ක්ම මෙරටට ආවේණික වන අතර, ලයිකන බහුල ගස් කඳන් හා පඳුරු නිසා රයිනෝ අං කටුස්සා සහ කුරු බෝදිලිමා ද මෙහි දක්නට ලැබේ.
මාර්ගය විවෘත කිරීමෙන් සිදුවිය හැකි හානි! මෙම කලාපය මහජනතාවට විවෘත කිරීමෙන් බරපතල පාරිසරික ගැටලු රැසක් ඇතිවිය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවයි.
ශාක විනාශය: සංචාරකයින් විසින් ශාක කොටස් සහ මල් කඩාගෙන යාම සිදුවිය හැක. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෝටන්තැන්න තුළ පවා මෙය සිදුවන බව පෙන්වා දෙයි.
වනජීවී අපරාධ: ජාන මංකොල්ලකෑම්, සතුන් අල්ලා විකිණීම වැනි වනජීවී අපරාධ වැඩිවීමේ අවදානමක් පවතී. මීට පෙරද හෝටන්තැන්න තුළින් සත්ව හා ශාක සාම්පල හොරකම් කිරීම් වාර්තා වී ඇති අතර, ඒ සඳහා විශාල දඩ මුදල්ද නියම කර ඇත.
ජල පෝෂක කලාප විනාශය: මෙම ප්‍රදේශය වැදගත් ජල පෝෂක කලාපයක් වන අතර, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එය විනාශ විය හැක.
වන වෘක්ෂ මරණය: හෝටන්තැන්න සහ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව වන වෘක්ෂ මරණය දැකගත හැකි අතර, පිනි බිංදු හරහා කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් ශාක මතට එකතු වීම සහ දිලීර තත්ත්වයන්ද මෙයට හේතු වේ. මානව ක්‍රියාකාරකම් මගින් මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැක.
වනජීවී හැසිරීම් වලට බාධා: මිනිසුන්ගේ නිරන්තර පැමිණීම හේතුවෙන් වන සතුන්ගේ ස්වභාවික හැසිරීම් වලට බාධා ඇති විය හැකි අතර, සතුන් මිනිසුන්ට හුරු වීමෙන් ඔවුන්ගේ ආරක්ෂාවටද තර්ජන එල්ල විය හැක. හෝටන්තැන්නේ ගෝන ප්‍රජාව මේ සඳහා උදාහරණයකි.
ආක්‍රමණික ශාක ව්‍යාප්තිය: මිනිසුන්ගේ ගමනාගමනය හේතුවෙන් ආක්‍රමණික ශාක ව්‍යාප්ත වීමේ අවදානමක්ද පවතී.
පරිසරවේදීන් අවධාරණය කරන්නේ මෙම වනගත කොටස වසා තැබීම අත්‍යවශ්‍ය බවයි. ඒ වෙනුවට නන්පේරියල් ගම්මානයට ඇති මාර්ගය නිසි ලෙස සංවර්ධනය කර, ගම්වැසියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම තුළින් ග්‍රාමීය සංවර්ධනය හරහා සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි බව ඔවුන්ගේ අදහසයි. ගම්මානයේ පවතින සෞම්‍ය දේශගුණය, මනරම් දර්ශන (ගොම්මොල්ලිය, හාවාගල කඳු, මීදුමෙන් වැසී යන බලංගොඩ සානුව) විදේශීය සංචාරකයින්ට ආකර්ෂණය කරගත හැකි අතර, එමඟින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ හැකිය.
මීට අමතරව, ගම ආසන්නයේ වනජීවී කාර්යාලයක් පිහිටුවීම අත්‍යවශ්‍ය බවද ඔවුහු පෙන්වා දෙති. බෙලිහුල්ඔය සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම යනු ලෝක උරුම සහ සංවේදී පරිසර කලාප විනාශ කිරීම නොවන බවත්, හෝටන්තැන්නට දැනට ඇති මාර්ග ප්‍රමාණවත් බවත් ඔවුහු අවධාරණය කරති.