පසුගිය පළාත් පාලන මැතිවරණයේ සිට මේ දක්වා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් බහුතර බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් දියත් කළ තියුණු සටනකින් පසු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේ මංගල රැස්වීම අද (16) පෙරවරුවේ පැවැත්වේ.
පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට 50% ඉක්මවූ බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි විය. එවන් පසුබිමක් තුල මැතිවරණයෙන් පසු බහුතර බලය තහවුරු කර ගැනීම සඳහා ජාතික ජන බලවේගය දැඩි සටනක් දියත් කර තිබූ අතර එම සටන ඊයේ මධ්‍යම රාත්‍රිය පසු වන තෙක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ආණ්ඩුවේ තෝරාගත් ඇමතිවරු කිහිපදෙනෙක් කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙක් මෙන්ම ආණ්ඩුවට හිතැති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් එක්ව බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයට එකතු කර ගැනීමේ සටන දියත් කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
විවිධ වරදාන වරප්‍රසාද දෙන බව පවසමින් කොළඹ ස්ථාන කිහිපයකදී නාගරික මන්ත්‍රීවරු මුණගැසී සාකච්ඡා පැවැත්වූ මෙම කණ්ඩායම විපක්‍ෂයට බහුතරය නැති කිරීම සඳහා විවිධ සැලසුම් සකස් කළ බව ඉහත ආරංචි මාර්ගය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙලෙස බහුතරය හදා ගැනීම සඳහා දියත් කළ මහා සටනින් පසු අද (16) පෙරවරු 9.30 කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වේ.
මෙම රැස්වීමේ ප්‍රථම කාර්යය වන්නේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරාපත් කර ගැනීමයි. නගරාධිපති ධූරය සඳහා ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඉදිරිපත් වන අතර විපක්ෂයේ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල සහයෝගයෙන් සමගි ජන බලවේගය විසින් රිසා සාරුක් මහතා ඉදිරිපත් කර ඇත.
මේ දෙදෙනා අතුරෙන් එක් අයෙක් නඟරාධිපති ධුරයට තෝරාපත් කර ගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය එම ඡන්ද විමසීම රහස් චන්දයක්ද එසේත් නැතිනම් විවෘත ඡන්ද විමසීමක්ද යන්න පිළිබඳව අවසන් තීරණය සභාව රැස්වීමත් සමග ගැනීමට නියමිතය.
කොළඹ මහ නගර සභාවේ මුළු සභික ධූර සංඛ්‍යාව 117 ක් වන අතර නගරාධිපති ලෙස පත්වීමට ඉන් ඡන්ද 59ක් ලබාගත යුතුය. ඉකුත් 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය කොට්ඨාස 48 ක් ජයග්‍රහණය කර ඔවුන් මන්ත්‍රී ධූර 48ක් හිමිකර ගත්තේය.
සමගි ජන බලවේගය කොට්ඨාස 14 ක් ජයග්‍රහණය කර මන්ත්‍රී ධූර 29 ක් හිමි කර ගත් අතර එක්සත් ජාතික පක්ෂය කොට්ඨාස 02 ක් ජයග්‍රහණය කර මන්ත්‍රී ධූර 13 ක් හිමි කරගත්තේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ධූර 05 ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රී ධූර 04 ද, සර්ව ජන බලය, එක්සත් සාම පෙරමුණ, ස්වාධීන කණ්ඩායම් 04 සහ ස්වාධීන කණ්ඩායම් 05 මන්ත්‍රී ධූර දෙක බැගින්ද , ස්වාධීන කණ්ඩායම් 01 සහ ස්වාධීන කණ්ඩායම් 02 , ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, පොදු ජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ජාතික ජනතා පක්ෂය සහ එක්සත් ජනරජ පෙරමුණ මන්ත්‍රී ධූර 01 බැගින් ද ජයග්‍රහණය කර ඇත.
මෙරට මහා නගර සභා අතරින් බලවත්ම නගර සභාව වන කොළඹ මහ නගර සභාවේ ප්‍රථම නගරාධිපති ලෙස චාල්ස් පීටර් ලෙයාඩ් මහතා පත් වූ අතර 1950දී කුමාර රත්නම් මහතාත් 1954 දී කොළඹ නගර සභාවේ නගරාධිපති ලෙස එන්.එම්.පෙරේරා මහතා තේරී පත්විය. 1956 වසරේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රථම වතාවට කොළඹ නගර සභාවේ බලය අත්පත් කරගන්නා අතර එහිදී නගරාධිපති ලෙස පත් වන්නේ බී.ඒ සුගතදාස මහතාය.
1956 සිට අඛණ්ඩව 2006 වන තෙක් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වූ කොළඹ නගර සභාව සඳහා 2006 පැවති මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප විය. ඉන්පසු ස්වාධීන කණ්ඩායමක් සමග එක්ව නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්‍ෂයට හැකිවිය. එහිදී නගරාධිපති ලෙස පත්වූයේ උවයිස් මොහොමඩ් මහතාය.
ඉන් අනතුරුව පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය කොළඹ ජයගත් අතර 2018 පැවැති මැතිවරණයෙන්ද එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේය. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස රෝසි සේනානායක මහත්මිය පත්වූවාය.
2025 පැවති මැතිවරණයෙන් කොළඹ මහා නගර සභාවේ නගරාධිපති ධූරයට පත්වන්නේ ව්‍රායි කැලී බල්තසාර්.? රීසා සාරුක්ද..? රටේම දැඩි අවධානයක් යොමුව ඇත.!!