ජනාධිපති අනුර කුමාර දිසානයක තමන්ට ලැබෙන විදෙස් සංචාර සඳහා වන ආරාධනා පිළිගැනීමේදී වඩාත් ප්‍රවේශම් සහ දියුණු රාජතාන්ත්‍රික ප්‍රවේශයක සිට තෝරාගැනීම් සිදුකළ යුතු බව දේශපාලන විචාරකයන් පවසයි.
ඒ සඳහා කඩිනමින් ජාත්‍යන්තර කටයුතු පිළිබඳව ජ්‍යේෂ්ඨ උපදේශකයකුගේ අවශ්‍යතාවද ඔවුන් අවධාරණය කරයි.
තෝරාගැනීම් වල දුර්වලතා නිරීක්ෂණය වුවහොත් ඒ තුළ දෙස් විදෙස් බලවේග ඔවුන්ගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවයක් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
එබැවින් එහිදී පෞද්ගලික දේශපාලන පක්ෂ හිතවත්කමට වඩා ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයා ලෙස මෙරට ජාතික අභිලාෂයන් කෙරෙහි වැඩි බරක් තැබිය යුතු බවද විචාරක මතයවී තිබේ.
මැතිවරණයක් ගැන කියා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් බ්‍රික්ස් සමුළුව වෙනුවන් සිදුකළ ආරාධනය ප්‍රතික්ෂේප කළ ජනාධිපති අනුර කුමාර දිසානයක ජර්මන් ජනාධිපතිගේ ආරාධනය පිළිගෙන තෙදින නිල සංචාරකයක නිරතවීම පවා දෙවරක් සිතා බලා සිදුකළ යුත්තක්ව තිබූ බවද විචාරක අදහසයි.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධව අධ්‍යයනය කරන විද්වතුන් කිහිපදෙනෙකුම පවසා සිටියේ ජනාධිපතිවරයාගේ පසුගිය ජර්මන් සංචාරය සඳහා ආරාධනා කළ ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier) දැඩි LTTE හිතවාදීයකු බවට චෝදනා නැඟෙන බවත් එවැනි ආරාධනයකට දින තුනක් වෙන් කිරීමේදී අවම වශයෙන් ඉතා සුළු වේලාවකට හෝ ජර්මන් චාන්සලර් ද මුණගැසීමට ඉඩක් වෙන්කර ගත යුතුව තිබූ බවයි.
එමඟින් සංචාරයට වැඩි අගයක් එක්වන අතර නිශේධනාත්ම අදහස් දුර්වල වන බවත් පවසන විචාරකයන් එකී සංචාරයේදී ජර්මන් චාන්සලර් හමුවන බව නිල වශයෙන් නිවේදනය කර තිබියදී පවා එවැන්නක් සිදු නොවීම ජනාධිපතිවරයාට මෙන්ම රටේ ප්‍රතිරූපයට ද හානිකර සහ මෙරට විදෙස් අමාත්‍යංශයේ දුර්වලතාව ප්‍රදර්ශනයවීමක් බවද පවසයි.
එසේම විදෙස් සංචාර තෝරාගැනීමේදී ඒ සම්බන්ධව කළාපයේ සහ ගෝලීය ප්‍රතිචාරය මෙන්ම ඉදිරි අභියෝග කෙලෙස නිර්මාණයවේද යන්න කෙරෙහි ජනාධිපතිවරයා ප්‍රවේසම් විය යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.
ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් 2005 සිට 2009 ඔක්තෝම්බර් දක්වා ජර්මන් විදේශ අමාත්‍යවරයා ලෙස සිටියදී මෙරට යුද්ධය නවතාලීමටත්, අවසන් සටනේ කොටුවූ LTTE නායකයන් ආරක්ෂා කිරීමටත් හඬක් නැඟූවෙකු බවට එල්ල වන චෝදනා අසත්‍ය නොවන බවද ඔවුන් සිහිපත් කරයි.
එවැනි පසුබිමක යුද සමයේ මෙන්ම මෙරට ආර්ථිකයටත් අතිසමීප සබඳතා පවත්වන රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් බ්‍රික්ස් සමුළුව වෙනුවන් කළ ආරාධනයට වඩා ජර්මන් ජනාධිපති ගේ ආරාධනය වැදගත්වීම එම රටවල් කෙසේ තක්සේරු කරනු ඇතිදැයි සිතා බැලිය යුතු බවද විචාරකයන් අවධාරණය කරයි.
බ්‍රික්ස් සමුළුව සඳහා වූ ආරාධනයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ ප්‍රතිචාරය රුසියානු හිත් පෑරීමක් බව පසුගියදා මෙරට රුසියානු තානාපතිවරයා ප්‍රසිද්ධියේ සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් තහවුරු වූ බවද විචාරකයන් සිහිපත් කරයි.
එබැවින් ඔවුන් පවසන්නේ ජනාධිපති අනුර කුමාර දිසානයක සිය විදෙස් සබඳතා ඇතුළු විදෙස් සංචාර වලදී ඒවා සංවිධානය කරන පිරිස කවුද ? ඔවුන්ගේ සබඳතා කිනම් පාර්ශ්ව සමඟ මොන ආකාරයට පවතීද ? ආරාධනා සඳහා සහභාගී වීමේදී එයි ඵලදායීතාව කුමක්ද ? වැනි අංශ කෙරෙහිද විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇති බවයි