ඊශ්‍රායලයට අපහාස වන ආකාරයේ ස්ටිකරයක් ඇලවූ බව කියන සිදුවීමකට ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යටතේ මොහොමඩ් ලියුදීන් මොහොමඩ් රුස්ඩි නම් තරුණයා රඳවා තබා ගැනීමෙන් ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ (CTID) ප්‍රධානියා හා එම ඒකකය ඔහුගේ මානව හිමිකම් කඩකර ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීන්දු කර ඇත.
ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසම මේ බව සඳහන් කර තිබෙන්නේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ සිදුකළ මෙකී තරුණයා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධව සිදුකළ ස්වාධීන විමර්ශනයේ වාර්තාව ප්‍රසිද්ධ කරමිනි.
මෙහිදී මොහොමඩ් ලියුදීන් මොහොමඩ් රුස්ඩි නම් වින්දිත තරුණයාට නීත්‍යානුකූල රැකියාවක නිරත වීමට ඇති නිදහස අවහිර වීම සහ එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට ඇති සාමූහික වගකීම හේතුවෙන් සිදුවූ අගතියට පිළියම් යෙදීම සඳහා රුපියල් 200,000.00 ක වන්දියක් ගෙවන ලෙසද මානව හිමිකම් කොමිසම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිර්දේශ නිකුත් කර තිබේ.
එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15(7) වගන්තියට අනුව, 2025 ජූලි 15 හෝ ඊට පෙර මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කරන ලෙසත්, පළමු වගඋත්තරකරු වන පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කිරීමටද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
මීට අදාළ පැමිණිල්ල වින්දිත තරුණයාගේ මව විසින් කොමිසම වෙත සිදුකර තිබූ අතර ඒ 2025 මාර්තු 22 වන දින තම පුත්‍රයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත් බවට චෝදනා කරමිනි.
“F*** Israel” ලෙස සඳහන් ස්ටිකරයක් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයක් අනුව මොහොමඩ් ලියුදීන් මොහොමඩ් රුස්ඩි (22) අනාවරණය වූ වෙනත් කරුණු මත ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා ගනිමින් මාර්තු 22 වන දා ඔහු අත්අඩංගුවට ගෙන තිබිණ.
එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ අත්සන යටතේ දින 90ක රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ගැනීමට කටයුතු කෙරිණ.
කෙසේවෙතත් පසුගිය ආණ්ඩුව සමයේ මෙම PTA පනතට එරෙහිව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයක ජන්දය භාවිතා කර තිබිණ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධව නිකුත්කළ සම්පූර්ණ වාර්තාව පහත දැක්වෙයි.