කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය පසුගියදා පළාත් පාලන කොමසාරිස්වරිය විසින් නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවිය.
එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.
ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයක් විසින් 50% ඉක්මවූ බහුතර සභික සංඛ්‍යාවක් ලබානොගැනීම නිසා හෙට පැවැත්වෙන මංගල රැස්වීමේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.
මෙහිදී කොළඹ මහ නගරසභාවේ නගරාධිපති ධූරය කෙසේ හෝ ජාතික ජනබලවේගය වෙත අවශ්‍ය බව පවසමින් එහි බලය තහවුරු කරගැනීම වෙනුවන් ආණ්ඩුව ක්‍රියාත්මකවූ අතර ජනාධිපති අනුර කුමාර දිසානයක ද ඊට සෘජුව මැදිහත් විය.
මේ සඳහා කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන තහවුරු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් සමඟ සබඳතා ගොඩනැඟීම වෙනුවෙන් නියෝජිතයා ලෙස පත්කෙරුණේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ය.
කෙසේවෙතත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට සුනිල් වටගල ට එතරම් බරපතළ කටයුත්තක් තනිව සිදුකිරීමට තරම් හැකියාවක් නොමැති තක්සේරුව මත සහ ජනාධිපතිට හිතවත් තිරෙන් පිටුපස දේශපාලන හිතවතුන්ගේ මැදිහත්වීම මත කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා ව්‍රායි බල්තසාර් පත්කර ගැනීමට ඔලුගෙඩි එකතු කිරීමට ” පවර් ඒජන්ට්ලා ” කිහිපදෙනෙකු ගේ සේවයද යොදා ගැනීමට තීරණය කර ඇත. එහිදී හිටපු ආණ්ඩුකාරවරයෙකු වන මුස්සම්මිල් සහ කොළඹ දේශපාලන – ව්‍යාපාරික ජාලයේ සම්බන්ධීකාරකයන් ( ඩීල්කාරයන්) කිහිපදෙනෙකු සිය මැදිහත්වීම මේ සඳහා දී තිබේ.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට “ප්‍රභා ගනේෂන් ගේ පක්ෂය ඇතුලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සමඟ ජනාධිපති හමුවද සංවිධානය වී තිබෙන්නේ එම පවර් ඒජන්ට්ලා ගේ මැදිහත්වීම සමඟය.
මෙහිදි අභියෝගයක්වී ඇත්තේ කොළඹ මහ නගර සභාවට පත්ව සිටින අති බහුතරයක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් පවර් ඒජන්ට්ලා හැර ජනාධිපති හෝ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ කිසිවෙකු සමඟ සමීප සම්බන්ධයක් නොමැති වීමය. ඊට වඩා අතිසමීප දේශපාලන සහ පෞද්ගලික සමීපත්වයක්, සමගි ජනබලවේගය , එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ , ශ්‍රිලනිප පක්ෂ නායකයන් සමඟ තිබීමය.
එබැවින් ඒ බොහෝ දෙනෙකු මූල්‍ය සහ තාවකාලික වරප්‍රසාද වෙනුවන් ජාතික ජනබලවේගය ට සහාය දැක්වීම වෙනුවට සිය දේශපාලන සහ පෞද්ගලික සමීපත්වය සමඟ ඉදිරියට යාමට තීරණය කර ඇත. ඒ බව ඔවුන් ඊයේ (14) රාත්‍රියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් දැනුම්දී තිබේ.
දැනට තත්ත්වය එසේ වූවද දේශපාලන ආරංචිමාර්ග පවසන ආකාරට ආණ්ඩුවේ පවර් ඒජන්ට්ලා මේ මොහොතේ අදහාගත නොහැකි ලංසු ඉදිරිපත් කරමින්, හෙට (16) දිනයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති ධූරය සඳහා නියමිත ජන්ද විමසීම විවෘත ජන්දයක් වෙනුවට රහස් ජන්දයක් බවට පත්කර ගැනීමේ මෙහෙයුමක් දියත්කර තිබේ.
එහිදී ජාතික ජනබලවේගය ට පක්ෂව ලබාගත නොහැකි ජන්ද නිෂ්ක්‍රීය කිරීම, ප්‍රමාදවී පැමිණීම, 16 නොපැමිණීම ආදී ලෙස යෝජනා සහ අදහස් ඉදිරිපත් වෙමින් තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් අද (15) රාත්‍රිය කොළඹ මහ නගරසභාවට නොනිදන රාත්‍රියක් බවට පත්ව තිබේ. ආණ්ඩුවේ පවර් ඒජන්ට්ලා ගේ අදහාගත නොහැකි ලංසු ඉදිරියේ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩයම් නියෝජිතයන් රැකගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වී තිබේ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු අප සමඟ පවසා සිටියේ කොළඹ නගරාධිපති සටන වෙනුවන් ජනාධිපති අනුර කුමාර දිසානයක මැදිහත්වූ මොහොතේම එම පක්ෂයේ දේශපාලන පතිවත අවසන් බවයි. එසේම රටපුරා ජාතික ජනබලවේගය පුංචි ආණ්ඩු සෑදීම වෙනුවන් බුදියනොගත් පක්ෂයක් නොමැති බවයි. ඒ අර්ථයෙන් කොළඹ ජාතික ජනබලවේගය දිනුවත් පැරදුණත් ශේෂ පත්‍රය පරාජික බවයි.