Home අද ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකානුවන්ට

ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකානුවන්ට

175
0

ICC ටෙස්ට් ලෝක ශූරතා අවසාන මහා තරගය කඩුලු 5කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

තරගයේ සිව්වන ඉනිම ක්‍රීඩා කරමින් පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානුවන් අද තරගය ආරම්භ වනවිට ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමට තිබුනේ ලකුණු 69 ක් පමණි.

ඒ වෙනුවෙන් ඔවුන් සිටින්නේ කඩුළු 8 ක් අතැතිව ප්‍රබල ස්ථානයක පසු විය.

අද තරගය ආරම්භ වී තවත් කඩුලු 3ක් බිඳ වැටෙන විට එම ඉලක්කය පසු කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත් විය.

එංගලන්තයේ ලන්ඩන් නුවර ක්‍රිකට් ක්‍රීඩාවේ මහාදෙවොල ලෙසින් හැඳින්වෙන එ‌ෙතිහාසික ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන මෙම ICC ටෙස්ට් ලෝක ශූරතා අවසාන මහා තරගයේ මුල් දින දෙක තුළ දී, වේග පන්දු යවන්නන් හට බෙහෙවින් වාසිදායක තණතීරුවක් ලබාදුන්නා යැයි කිවහොත් නිවැරදිය.

මුලින්ම පන්දුවට පහර දුන් ප්‍රබල ඔස්ට්‍රේලියානුවන්ගේ පළමු ඉනිම, පළමු දිනය තුළම ලකුණු 212කට සීමා කරලන්නට ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් එහිදී සමත්විය. කගිසෝ රබාඩා කඩුළු 5ක් සහ මාකෝ ජැන්සෙන් කඩුළු 3 ක් සහ දඟ පන්දු යවන්නන් වන කේෂව් මහරාජ් සහ ඒඩන් මාක්රම් කඩුළු 1 බැගින් වන පරිදි ලබා ගන්නට සමත්වූ අතර ඔස්ට්‍රේලියා පිල වෙනුවෙන් බෝ වෙබ්ස්ටර් ලකුණු 72ක් සහ ස්ටීව් ස්මිත් ලකුණු 66 ක් ලබා ගන්නට සමත්විය.

කෙසේවෙතත් තමන් අඩු ලකුණු ගණනකට සීමා කිරීමේ වාසිය කිසිසේත් දකුණු අප්‍රිකානුවන් වෙත ලබා දීමට නායක පැට් කමින්ස් ප්‍රමුඛ ප්‍රබල ඔස්ට්‍රේලියානු වේග පන්දු බලඇණිය ඉඩක් නොදුන්නේ දකුණු අප්‍රිකානුවන්ගේ පළමු ඉනිම ලකුණු 138කට සීමාකරමිනි.

එහිදී පැට් කමින්ස් කඩුළු 6ක්, මිචෙල් ස්ටාර්ක් කඩුළු 2ක් සහ ජොෂ් හේසල්වුඩ් කඩුළු 1 ක් බැගින් ලබා ගැනීමට සමත්විය.

ඉන් අනතුරුව සිය දෙවැනි ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියානුවන් හට එවර ලබා ගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. පසුපෙළ පිතිකරුවකු වූ මිචෙල් ස්ටාර්ක් නොදැවී ලබා ගත් ලකුණු 58 නොවන්නට ඔස්ට්‍රේලියානුවන්ගේ දෙවැනි ඉනිම මීට වඩා බෙහෙවින් ඛේදජනක වන්නට ඉඩ තිබුණි. නැවත වරක් ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණිය වෙනුවෙන් කගිසෝ රබාඩා කඩුළු 4 ක් සහ ලුන්ඩි ගිඩි කඩුළු 3ක් දවාගැනීමට එහිදී සමත්විය.

ඒ අනුව ICC ටෙස්ට් ලෝක ශූරතාවය තමන් සතුකර ගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකානුවන් වෙත ලැබුණු ඉලක්කය ලකුණු 282කි.

පිළිතුරු ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු පිලේ පළමු කඩුල්ල ලකුණු 9ක් වන විට දැවී යන තෙක්ම, එතෙක් වේග පන්දු යවන්නට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරදීමට සමත්ව තිබූ එ‌ෙතිහාසික ලෝඩ්ස් තණතීරුවේ ග්‍රහණය තමන් යටතට ගැනීමට ඒඩන් මාක්රම් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පිතිකරුවන් සමත් වූය‌ේ ඔස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තු ක්‍රමයෙන් බොඳකරමිනි.

ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ඒඩන් මාක්රම් ලකුණු 136ක් ලබාගත් අතර ඔහුට අනගි සහායක් ලබා දුන් නායක ටෙම්බ බවුමා ලකුණු 66ක් ලබාගෙන තිබුණි.

මෙම ජයත් සමග ශූරයන් සඳහා පිරිනමන අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක ත්‍යාග මුදලට හිමිකම් කීමට දකුණු අප්‍රිකාවට හැකිවිය.

වසර 136ක (වසර 1889) ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයක් ඇති ලොව තෙවන පැරණිම ක්‍රිකට් කණ්ඩායම ලෙසින් සැලකෙන දකුණු අප්‍රිකාව, සිය ක්‍රිකට් ඉතිහාසයේ කුමන හෝ ආකෘතියකින් ලෝක කුසලානයක් දිනාගත් පළමු හා එක්ම අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්විය.

ඔවුන් මීට පෙර ICC තරග මාලාවක ජයග්‍රහණය තිබූ එකම ශූරතාව වූයේ 1998 වසරේ පැවති පළමු ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීම පමණි.

එම තරගාවලි ඉතිහාසයේ ද ඔවුන් අවස්ථා 5කදීම අවසන් පූර්ව වටය දක්වා පැමිණ තිබේ.

ලෝක කුසලානය පෙනෙන මානය දක්වා පැමිණ අවාසනාවන්ත ලෙස ඉවතට විසිවන කණ්ඩායමක් ලෙස ප්‍රකට දකුණු අප්‍රිකාව, අවසන්වරට 2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයේද අවසන් මහා තරගයේදී විය.

එම තරග ඉතිහාසයේද අවස්ථා 2කදීම ඔවුන් අවසන් පූර්ව වටය දක්වා පැමිණ ඇත.

දකුණු අප්‍රිකාව එක්දින ලෝක කුසලාන 5කදීම අවසන් පූර්ව වටය දක්වා පැමිණ, අවසන් මහා තරගය අහිමි වූ කණ්ඩායමකි.

ඒ අනුව සමස්තයක් ලෙස දකුණු අප්‍රිකාව ක්‍රිකට් ආකෘති ත්‍රිත්වය යටතේම ලෝක කුසලාන අවසන් මහා තරගයක්, අවසන් පූර්ව තරග 12ක් හා අර්ධ අවසන් පූර්ව තරග 2ක් ක්‍රීඩාකර තිබුණි.

Previous articleගොවියනි දඬු ලේනා පළිබෝධකයෙක් ලෙස සලකන්න : ජනතාවනි විදුලි බිලට හුරුවෙන්න – ලාල්
Next articleශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කරන්න : ජනපති අනුර යවපු නම බිමල් ඉවත් කරගෙන !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here