කොළඹ මහ නගර සභාව ඇතුළු අනෙකුත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධව මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රවුෆ් හකීම් මහතා අතර මෙම සාකච්ඡාව ඊයේ (12) සවස විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහයෝගය නොදෙන බවට මාධ්‍ය වාර්තා කර තිබූ අතර නායකයන් දෙදෙනා ඒ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා එහි තම පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 04 දෙනාගේ සහයෝගය විපක්ෂයට ලබා දෙන බව එහිදී හකීම් මහතා ප්‍රකාශ කරතිබේ.
පළාත් පාලන ආයතන 100 ක බලය පිහිටුවීමට විපක්ෂයේ සැලසුම පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත.
ඒ අනුව කොළඹ නගර සභාව ඇතුළු තම පක්ෂයේ මන්ත්‍රීවරු සිටින පළාත් පාලන ආයතනවලද විපක්ෂයට බලය පිහිටුවීමට අවශ්‍ය සහය ලබාදෙන බව රවුෆ් හකීම් මහතා සජිත් ප්‍රේමදාස මහතාට එහිදී දැනුම්දී තිබේ.