ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ ජර්මන් නිල සංචාරය අති සාර්ථකව සිදුවෙතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
ජනාධිපති මාධ්‍ය අංශය 2025 -06-10 නිකුත්කළ නිල නිවේදනය අනුව ජර්මනියේ ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් ගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා මෙම නිල සංචාරයේ නිරතව සිටියි.
එකී නිවේදනයේ සඳහන් ආකරයට මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපති, චාන්සලර්, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
ජනපති අනුර ජර්මන් චාන්සලර් හමුවන්නේ කවදාද ?
එසේම රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය 2025-06-10 නිකුත්කළ නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ ජර්මන් නිල සංචාරයේ ද්වීපාර්ශ්වීය සාකච්ජා වලට අදාළව මීළඟට තිබෙන්නේ ජර්මනියේ රාජ්‍ය නායකයා වන චාන්සලර් ෆ්‍රෙඩ්රික් මෙයර්ස් ( Friedrich Merz ) ගේ හමුවය.
මෙම සටහන තබන 2025-06-13 පස්වරුව වනතෙක් එවැනි හමුවක් සිදුවේද නැද්ද යන්න සම්බන්ධව වාර්තා වන්නේ නැත. ජනාධිපති මාධ්‍ය අංශය විසින් ජනාධිපතිවරයාගේ ජර්මන් සංචාරයේ 3වන දිනය මැයෙන් අද (13) නිකුත්කර ඇති නිල නිවේදනයේද ජර්මන් චාන්සලර් සමඟ හමුවක් තිබෙන බවක් සඳහන් කර නොමැත.
ජර්මනියේ අප තොරතුරු මූලාශ්‍රද සඳහන් කර සිටියේ එරට රාජතාන්ත්‍රික ආරංචිමාර්ග අනුව එවැනි හමුවක් පිළිබඳව කිසිඳු තොරතුරක් දැනගන්නට නොමැති බවය. එය හදිසියේ සිදුවූවක් නොව ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ ජර්මන් නිල සංචාරය ආරම්භක අවස්ථාවේ සිටත්, ජර්මන් චාන්සලර් සමඟ ද්වීපාර්ශ්වීය සාකච්ඡා කෙසේවෙතත් නිල බැහැදැකීමක් හෝ නිල භෝජන – තේ පැන සංග්‍රහයක් සඳහාවත් අවස්ථාවක සූදානමක් ගැනවත් වාර්තා නොවන බව අප ආරංචිමාර්ග පවසයි.
නමුත් මෙරට ජනාධිපති කාර්‍යාලයේ නිල වෙබ් අඩවියේද ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ ජර්මන් නිල සංචාරය තුළ ජර්මන් චාන්සලර් සමඟ ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් කර තිබේ.
නමුත් මෙරට විදේශ අමාත්‍යංශයේ නිවේදනය අනුව නම් ජනාධිපතිවරයා සහ ජර්මන් චාන්සලර් අතර හමුවක් ගැන කිසිඳු සඳහනක් නැත.
රාජ්‍ය නායකයකුගේ නිල රාජ්‍ය සංචාරකයකදී අදාළ රාජ්‍යයේ නිල නායකයා, එනම් ජර්මනියේ නම් එරට චාන්සලර් හමුවී නිල ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වෙන බව ආවාට ගියාට නිවේදනය කරන්නේ නැත. සංචාරයේ වැදගත්කම උත්කර්ෂයට ගැනීම වෙනුවෙන් හෝ රාජ්‍ය නායකයා සම්බන්ධ කර පුවත් නිර්මාණය කෙරෙන්නේ නැත. විශේෂයෙන් නිල නිවේදනයකට එවැන්නක් කොහෙත්ම ඇතුළත් කරන්නේම නැත.
නැති හමුවක් දැම්මේ ඇයි ?
නමුත් ජනාධිපති මාධ්‍ය අංශයේ නිල නිවේදනය තුළත් ජනාධිපති කාර්‍යාලයේ වෙබ් අඩවියේත් ජනාධිපති අනුර කුමාර දිසානයක සහ ජර්මන් චාන්සලර් අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වෙන බව පැහැදිලිව සඳහන් කර ඇත.
රටක ජනාධිපතිවරයෙකු තවත් රටක නිල සංචාරයකට පැමිණි විට, සත්කාරක රටේ රාජ්‍ය නායකයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායයි. එය දෙරට අතර සබඳතාවල වැදගත්කම සහ ගෞරවය විදහා දක්වන්නකි. එවැනි හමුවක් නිල වශයෙන් නිවේදනය කර තිබියදීත්, එය සිදු නොවීම බරපතල රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් ලෙස සැලකීමට සිදුවන බව විචාරකයන්ගේද මතය වී තිබේ.
1) හිතාමතා සිදු වූවක් ?
සත්කාරක රට හිතාමතාම මෙම හමුව මගහැරියේ නම්, එය පැමිණි රටට එරෙහිව යම් පණිවිඩයක් ලබා දීමක් විය හැකිය. එය දෙරට අතර සබඳතා පිරිහීම, යම් ප්‍රතිපත්තිමය ගැටලුවක් හෝ අමනාපයක් පෙන්නුම් කරන්නක් වෙයි. ඇතමුන් මෙය මෙය සෘජු අවඥාවක් හෝ නොසලකා හැරීමක් ලෙසද අර්ථ දැක්විය හැකි අතර එය ප්‍රතික්ෂේප කළ නොහැකිය.
2) නොවැළැක්විය හැකි හේතුවක් !
සත්කාරක රටේ රාජ්‍ය නායකයාට හදිසි සෞඛ්‍ය ගැටලුවක්, දේශපාලන අර්බුදයක් හෝ වෙනත් පාලනය කළ නොහැකි තත්ත්වයක් නිසා හමුවට සහභාගී වීමට නොහැකි වූවා විය හැකිය. නමුත් එවැනි අවස්ථාවකදී පවා, සත්කාරක රට විසින් පැමිණි රටට කල්තියා දැනුම් දීම, සමාව ඉල්ලීම සහ විකල්ප විසඳුම් (උදා: වෙනත් ඉහළ නිලධාරියෙකු සමඟ හමුවක්) ඉදිරිපත් කිරීම රාජ්‍යතාන්ත්‍රිකව අපේක්ෂා කරන්නකි. නමුත් ජර්මනිය පාර්ශ්වයෙන් එවැන්නක් මෙතෙක් නිවේදනය නොවීමද ගැටලුවකි.
දැන හෝ නොදැන කළ වරද !
එබැවින් සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි කිරීම රජයේ වගකීමය. එසේ නොමැති නම් මෙය රාජතාන්ත්‍රික සබඳතා පළුදුවීමක් ලෙස හෝ ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ව්‍යාජ ලෙස නැංවීමට ගොතනු ලැබූ තවත් බොරුවක් ලෙස ජනගතවීම වළක්වන්න නොහැකි වනු ඇත. එසේම කිසියම් ප්‍රචාරක වාසියක් වෙනුවෙන් එවැන්නක් සඳහන් කළා නම්, බොරුකාරයන් ලෙස මේ වනවිටත් ජනතා අපවාදයට ලක්වෙමින් සිටින ආණ්ඩුව, මේ ක්‍රියාව භරහා රාජතාන්ත්‍රික බොරුකාරයන් ලෙස ජාත්‍යන්තරය හමුවේද අපවාදයට ලක්වනු ඇත.
එබැවින් මේ සම්බන්ධව සත්‍ය කරුණු පැහැදිලි කිරීම නිල වශයෙන් සිදුකිරීම රජයේ වගකීමක් මෙන්ම වගවීමක් ද වෙයි. ඒ බව අවධාරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශයේ වාර්තා අනුව ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ ජර්මන් සංචාරය කෙරෙහි අවධානය යොමුකළහොත් ඒ මෙසේය.
රාජ්‍ය ගෞරව සහිත උණුසුම් පිළිගැනීම සහ ද්වීපාර්ශ්වික සාකච්ඡා !
ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් ගේ නිල ආරාධනයකට අනුව ජර්මනියේ සංචාරය ආරම්භ කරමින් ජුනි 11 වනදා එරටට ළඟා විය.
බර්ලිනයේ බෙල්වීව් මන්දිරයට පැමිණි අවස්ථාවේදී ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද එක් විය.
නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් අතර වැදගත් ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.
මෙම සාකච්ඡාවලදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. විශේෂයෙන්ම, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව සඳහන් වේ.
ජර්මානු විදේශ අමාත්‍යවරයා සමඟ හමුව !
ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul) ද ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී සාකච්ඡා පැවැත්වීය. මෙම හමුව බර්ලින්හි වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී සිදු විය.
රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණ.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිසක් සහභාගී වූහ.
ව්‍යාපාරික ප්‍රජාව සහ ජර්මානු ආර්ථික සහයෝගීතා අමාත්‍යවරිය සමඟ හමුවීම් !
ජනාධිපතිවරයාගේ ජර්මානු නිල සංචාරයේ තෙවන දිනය ද කාර්යබහුල විය. එදින පෙරවරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ හමුවකට ජනාධිපතිවරයා සහභාගී විය.
අනතුරුව, ජනාධිපතිවරයා ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් මුලස්ථානයේ (DIHK) පැවැත්වෙන ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයට එක් විය. මෙම සංසදයන් ශ්‍රී ලංකාවට ආර්ථික අවස්ථා පුළුල් කිරීමට මඟ පෙන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එදින පස්වරුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) මහත්මිය අතර බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී හමුවක් පැවැත්විණි. මෙම සාකච්ඡාවන් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජර්මානු සහයෝගය තවදුරටත් තහවුරු කරනු ඇත.
ජර්මනියේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවක් !
ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරයේ තවත් සුවිශේෂී අවස්ථාවක් වූයේ ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමය.
මෙම හමුව ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අභිවෘද්ධිය සහ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් වෙයි.
ජනාධිපතිවරයා සමඟ මෙම නිල සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, විදේශ කටයුතු, විදේශ රැකියා හා වෙළෙඳ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (යුරෝපය සහ උතුරු ඇමෙරිකාව) සුගීෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටිති. මෙම සංචාරය ශ්‍රී ලංකාවට ආර්ථික, සංචාරක සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයන්ගෙන් නව අවස්ථා උදා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ