ඉන්දියාව සමඟ ශ්‍රීලංකාව පසුගියදා අත්සන් කළ ගිවිසුම් 7 ට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවීමට නියමිතය.
පසුගිය ජුනි (05) වනදා අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ සඳහා දින නියම කෙරිණ.
එදින පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වෙතින් ඉල්ලා සිටියේ මෙකී නඩු නිමිත්ත ජාතික වැදගත්කමක් ඇති බැවින් ආසන්න දිනයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
ආචාර්‍ය ගුණදාස අමරසේකර ඇතුලු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත.
වාර්තා වන ආකාරයට එහිදී පෙත්සම්කාර පාර්ශ්ව සඳහන් කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.
මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් ජනතාව දැනුවත් කර නොමැති බවත් එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙන බවද වාර්තා වෙයි.
මෙම අවබෝධතා ගිවිසුම් මඟින් මෙරට ස්වෛරීභාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවට ද හානි සිදු වී ඇති අතර, මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය මුළුමනින්ම නීතියට පටහැනි බවටද චෝදනා කර තිබෙන බවත් වාර්තා වෙයි.
එමගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.