එක්සත් ජාතික පක්ෂයේ නීති රීතිවලට පිටින් කටයුතු කළ එම පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකුට එරෙහිව පක්ෂය අභ්‍යන්තරයේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම පරීක්‍ෂණ කටයුතු සඳහා කමිටු දෙකක් ද පත් කරතිබේ.
පක්ෂයේ ඉහල තනතුරු හෙබ වූ මෙම ප්‍රබලයින් දෙදෙනා 2015 ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු ලෙස කටයුතු කළ අය වෙති. ඔවුන් පක්ෂය සහ නායකත්වය සමඟ සිටින බව පෙන්වෙමින් පක්ෂයේ අභ්‍යන්තර කටයුතු අවුල් කෙරෙන ආකාරයට අවස්ථා ගණනාවකදී ක්‍රියාකර ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඔවුන් දෙදෙනා අතුරින් එක් අයෙකු ගේ ක්‍රියා කලාපය සම්බන්ධව සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව ඉදිරියේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ලැබීමට නියමිත බවත් ඉන්පසුව ඔහු පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ අතර පක්ෂය සහ පක්ෂ නායකත්වය සමඟ සිටින බව පෙන්වමින් පක්ෂයේ තවත් ප්‍රබලයෙක් එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය නමැති සංවිධානයක් පිහිටුවීමට කටයුතු කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. එලෙස පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ ප්‍රථම රැස්වීම පසුගිය සතියේ එම ප්‍රබලයාගේ නිවසේ දී පවත්වා ඇති අතර ඊට එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් 8 දෙනෙක් සහභාගි වී ඇති බවට පක්‍ෂයට තොරතුරු ලැබී තිබේ.
මෙම රැස්වීමට සහභාගී වූ ක්‍රියාකාරීන් අට දෙනාගෙන් දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂය දැනුවත්ව එම රැස්වීමට සහභාගි වූ අය බව පක්ෂයේ අභ්‍යන්ත ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මෙම සංවිධානය පිහිටුවීම එහි කටයුතු සහ එය පිහිටුවීමට උපදෙස් දුන් අය සම්බන්ධව තවදුරටත් සොයා බැලීම සඳහා පෙරේදා (09) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
මෙම පුද්ගලයින් එක්සත් ජාතික පක්ෂය සමඟ සිටිමින් පක්ෂයේ වැඩ කටයුතුවලට හානි වන ආකාරයට කටයුතු කිරීමේ සිද්ධීන් සම්බන්ධව කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. ඒ අනුව මෙම ප්‍රබලයන් දෙදෙනාගේ ක්‍රියා කලාපය සම්බන්ධව සොයා බැලීමට පත්කරන ලද කමිටු දෙකේවාර්තා කඩිනම් කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයක් මේ මොහොතේ පිහිටුවීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ එම සංවිධානය පිහිටුවීමට හොර රහසේ නායකත්වය දුන් බව කියන එජාප ප්‍රබලයා එම රැස්වීමේ ඉදිරිපෙළ අසුනක වාඩි කරවාගෙන තිබිමද විශේෂත්වයකි.
” ඔය සංවිධානය පිහිටිව්වේ කවුද..? ඒකට උපදෙස් ලැබුණේ කොහෙන්ද.? පළමු රැස්වීම තැබුවේ කොතනද.? ඊට සහභාගි වුණ අය කවුද.? එහිදී කතා වුනේ මොනවාද.? යන සියලු තොරතුරු ලැබී තිබෙනවා තවත් බොරු කරන්න එපා මින් ඉදිරියට මෙවැනි වැඩවලට කිසිදු සමාවක් නැහැ. වාර්තාව ලැබීමෙන් පසු මේ කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ වූ අයට පක්ෂයේ නීති රීතිවලට අනුව තරාතිරම නොබලා දඬුවම් කරනවා..” යැයි රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී වැඩිදුරටත් අවධාරණය කළේය.